22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීරණය පාර්ලිමේන්තුවේදී කථානායක ආචාර්ය ජගත් වික්‍රමරත්න මහතා විසින් ප්‍රකාශයට පත් කර තිබේ.
කථානායකවරයා සඳහන් කළේ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ කිසිදු විධිවිධානයක් හෝ එහි කිසිදු කොටසක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වැනි වගන්තිය යටතේ ජනමත විචාරණයකින් ජනතා අනුමැතිය ලබාගැනීමට අවශ්‍ය නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති බවයි.
එම තීරණයට අනුව, 22 වැනි සංශෝධන පනත් කෙටුම්පතේ 2 වැනි වගන්තියේ සඳහන් විධිවිධානයක “හැට හතට එළඹෙන දිනය” යන වචන වෙනුවට “හැට හත සම්පූර්ණ කළ දිනය” යන වචන යෙදිය යුතු බවද ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී තිබේ.
එමෙන්ම, එම වගන්තියට තවත් විධිවිධානයක් එක් කරමින්, පළමු විධිවිධානයේ සඳහන් වසර හයක ධුර කාල සීමාව පනත ක්‍රියාත්මක වන දිනය වන විට අගවිනිසුරු ධුරය දරන පුද්ගලයෙකුට අදාළ නොවන බව සඳහන් කළ යුතු බවද අධිකරණය තීරණය කර ඇත.
අධිකරණ සංශෝධන පනත් කෙටුම්පතේ විධිවිධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නොවන බවත්, එය පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කළ හැකි බවත් ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති බව කථානායකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස සම්බන්ධයෙන් වෙනස්කම් සිදුකිරීමට අදාළ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා විසින් අගෝස්තු 18 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.
ඉන් අනතුරුව එහි ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක් කරමින් විවිධ පාර්ශ්ව විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ගොනු කර තිබූ අතර, එම පෙත්සම් සංඛ්‍යාව 67ක් බව පාර්ලිමේන්තුවේදී සඳහන් කර ඇත.
එම පෙත්සම් අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් යුත් පස්දෙනෙකුගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග කර තිබේ. එම මඩුල්ලට විනිසුරුවරුන් වන අචලා වෙන්ගප්පුලි, අර්ජුන ඔබේසේකර, සම්පත් අබේකෝන් සහ ගිහාන් කුලතුංග යන මහත්වරුද ඇතුළත් වූහ.
සැප්තැම්බර් 2 වැනිදා පෙත්සම් විභාගය අවසන් කිරීමෙන් අනතුරුව, පනත් කෙටුම්පත්වල ව්‍යවස්ථානුකූලභාවය සම්බන්ධයෙන් අධිකරණයේ තීරණය කථානායකවරයා වෙත යොමු කරන බව විනිසුරු මඩුල්ල දැනුම් දී තිබිණි.
මේ අතර, 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ පාර්ලිමේන්තු විවාදය සැප්තැම්බර් 24 සහ 25 යන දිනවල පැවැත්වීමට නියමිතව තිබේ.


