සෑම පැතිකඩක්ම ප්‍රායෝගිකව අධ්‍යයනය කර, ජන ජීවිතය අඩාල නොවන අයුරින් තීරණ ගතයුතුයි – ජනපති

රට හමුවේ ඇති අවදානම බරපතළ එකක් බවට තර්කයක් නැති වුවද තීරණ ගත යුත්තේ සෑම පැතිකඩක්ම ප්‍රායෝගිකව අධ්‍යයනය කරමින් ආර්ථික හා ජන ජීවිතය අඩාල නොවන අයුරින් බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා පෙන්වා දෙයි.

දේශපාලන අරමුණු සහිත පිරිස් සහ සමාජ විරෝධී පූද්ගලයෝ වත්මන් සෞඛ්‍ය ගැටළුව උපයෝගි කර ගනිමින් සමාජ මාධ්‍ය සහ කට කතා මාර්ගයෙන් අසත්‍ය තොරතුරු ප්‍රජචාරය කිරීමෙහි නිරතව සිටින බවත් ‍ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.
ඔවුන්ගෙන් ඇතැමෙකු හඳුනාගෙන ඇති බවත්, එවැනි පිරිස්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවත් එහි සඳහන් වේ.

කොරෝනා වෛරසය පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය කළ දැනුම්දීම සමඟ වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීමට ඉවහල්වන පියවර රැසක් ජනාධිපති රාජපක්ෂ විසින් හඳුන්වා දුන් බවත් එම නිවේදනයේ දැක්වේ.

පෙබරවාරි 26 දා කොරෝනා මර්දන කාර්ය සාධක බලකාය ස්ථාපනය වු අතර එවැනි කාර්ය සාධක බලකායක් ස්ථාපනය කළ ප්‍රථම රට ශ්‍රී ලංකාව බවත් ජනපති මාධ්‍ය අංශය සඳහන් කරයි. Covid 19 වෛරසය පාලනය සඳහා ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ස්ථාපනය කළ කොරෝනා මර්දන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ශ්‍රී ජයවර්ධනපුර, රාජගිරියේ අංක 1090 ස්ථානයේ සිට ක්‍රියාත්මක වෙයි.

මහජන සෞඛ්‍ය සේවා සහ සෙසු සේවා අතර මනා සම්බන්ධීකරණයකින් නිවාරණ සහ කළමනාකරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ඊට පැවරී ඇති අතර, උද්ගතව ඇති ප්‍රශ්නය පටු දේශපාලන අරමුණූ උදෙසා ප්‍රයෝජනයට නොගන්නැයි කාර්ය සාධක බලකාය සමඟ පසුගිය අගහරුවාදා පැවති රැස්වීමේ දී ජනාධිපතිතුමා ඉල්ලීමක් කළ බවද අදාළ නිවේදනයේ දැක්වේ.

මේ අතර කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්තිය නතර කරනු පිණිස රජය තවත් ක්‍රියාමාර්ග හඳුන්වා දුන් අතර ඒ සඳහා ඉවහල්වන ප්‍රබල තීරණ දෙකක් අද ගනු ලැබු බවත් පළමුවැන්න අද සවස 6.00 සිට 23, සඳුදා උදේ 6.00 දක්වා රට පුරා ඇඳිරි නීතිය පැනවීම හා දෙවැන්න වෛරසයේ ව්‍යාප්තියට ඉඩ සලසන සියලු ආකාර චාරිකා නැවත දැනුම් දෙන තුරු තහනම් කිරීම සිදු කරන බවද නිවේදනයේ වැඩිදුරටත් සදහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *