ශ්‍රේෂ්ඨාධිකරණයට සහ අභියාචනාධිකරණයට නව පත්වීම්

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් ලෙස පත්කිරීමට පාර්ලිමේන්තු සභාවේ එකඟතාවය පළ කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් එම යෝජනාව ඉදිරිපත් කර තිබුණි.

හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සිසිර ද ආබෘෘ මහතා විශ්‍රාම ගැනීමෙන් ඇති වූ පුරප්පාඩුව සඳහා ඔබේසේකර මහතා නම් කෙරිණි.

එම තීරණය කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රමුඛත්වයෙන් පැවති රැස්වීමේ දී ගනු ලැබු බව පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

අදාළ රැස්වීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, ධීවර කටයුතු පිළිබඳ අමාත්‍ය ඩග්ලස් දේවානන්ද සහ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් යන මහත්වරු සහභාගී වී තිබේ.

මේ අතර ‍අභි‍යාචනාධිකරණ විනිසුරු කේ.පී ප්‍රනාන්දු මහතා අභි‍යාචනාධිකරණයේ සභාපති ලෙස පත්කිරීම සඳහා එවා තිබූ යෝජනාවට ද පාර්ලිමේන්තු සභාවේ එකඟතාවය හිමිවූ බවද මහ ලේකම් ධම්මික දසනායක මහතා කියාසිටියේය.

විනිසුරු කේ.පී ප්‍රනාන්දු මහතා අභියාචනාධිකරණයේ සභාපති ලෙස පත්කිරීම නිසා ඇතිවන අභියාචනාධිකරණ විනිසුරු ධුරයේ පුරප්පාඩුව සඳහා මහාධිකරණ විනිසුරු සසි මහේන්ද්‍රන් මහතා පත්කිරීමට ද පාර්ලිමේන්තු සභාව එකඟ වූ බව ද මහලේකම්වරයා පැවසීය.

එයට අමතරව හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සිසිර ද ආබෘෘ මහතා විශ්‍රාම ගැනීමෙන් ඇති වූ අධිකරණ සේවා කොමිෂන් සභාවේ සාමාජිකධුරයේ පුරප්පාඩුව සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එල්.ටී.බී දෙහිදෙණිය මහතා  පත්කිරීමට ද පාර්ලිමේන්තු සභාව සිය එකගත්වය පළකොට තිබේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *