හිටපු රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා පරීක්ෂා කළ වෛද්‍ය මණ්ඩලයට අයත් වෛද්‍යවරුන් 10 දෙනෙකුට ඔක්තෝබර් 6 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෝසමක් මගින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා මෙම නියෝගය නිකුත් කර ඇත.
පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව අත්අඩංගුවට ගෙන ඇති සලේ මහතා මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.
සලේ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් මෑතකදී කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු අනාවරණය වූ අතර, ඔහුගේ හෘදය විශාල වී ඇති බවත්, එම තත්ත්වය පාලනය කිරීම සඳහා වෛද්‍ය උපකරණයක් ඔහුගේ සිරුරට සවි කර ඇති බවත් එහිදී සඳහන් විය.
සලේ මහතා පරීක්ෂා කළ වෛද්‍ය මණ්ඩලය විසින් අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවක එම සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ තොරතුරු ඇතුළත් කර තිබිණි.
ඒ අනුව, එම වෛද්‍ය මණ්ඩලයට අයත් වෛද්‍යවරුන් 10 දෙනාටම ඔක්තෝබර් 6 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස මෙලෙස නොතීසි නිකුත් කර තිබේ.


