ශ්‍රී ලංකාවට ජයක්

ආසියානු කුසලානයේ ඇෆ්ගනිස්තානයට එරෙහිව පැවති තරගය ලකුණු 2කින් ජයගැනීමට ශ්‍රී ලංකාව සමත්විය.

එසේම දළ ලකුණු ලබාගැනීමේ වේගය අනුව ශ්‍රී ලංකාව මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ තරගයට සුදුසුකම් ලබාගැනීමට සමත්විය.

ශ්‍රී ලංකාව අඛණ්ඩව ජයගත් 12 වන තරගය මෙම තරගයයි.

ලාහෝර්හි පිහිටි ගඩාෆි ක්‍රීඩාංගණයේදී කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.

ඒ අනුව ශ්‍රී ලංකා ඉනිම අරඹමින් පිටියට පිවිසි දිමුත් කරුණාරත්න සහ පැතුම් නිස්සංක පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 63ක සබඳතාවක් ගොඩනැගීමට සමත්විය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස දිමුත් කරුණාරත්න දැවී යාමත් සමග ශ්‍රී ලංකා කණ්ඩායමේ තවත් කඩුලු දෙකක් ලකුණු 23ක් තුළදි බිඳවැටුණි.

නමුත් තුන්වන කඩුල්ල වෙනුවෙන් පිටියට එක්වූ කුසල් මෙන්ඩිස් චරිත් අසලංක සමඟ එක්ව ලකුණු 102ක සබඳවක් ගොඩ නැගුවේ ශ්‍රී ලංකාවට යම් අස්වැසිල්ලක් එක් කරමිනි.

එක් අන්තයක් ආරක්ෂා කරගෙන ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කළ කුසල් මෙන්ඩිස් පන්දු 84කට ලකුණු 92ක් රැස්කරගෙන සිටියදී අවාසනාවන්ත ලෙස දැවිගියේය.

මෙන්ඩිස්ගේ දැවියාමෙන් පසු නැවතත් ශ්‍රී ලංකා ඉනිම බිද වැටුණද දුනිත් වෙල්ලාලගේ සහ මහීෂ් තීක්ෂණ 8 වන කඩුල්ලට වේගවත් ලකුණු 64ක සබඳතාවක් ගොඩනැගීමට සමත්විය.

ඒ අනුව ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 50 අවසනානයේදී කඩුලු 8ක් දැවි රැස්කළ ලකුණු සංඛ්‍යාව 291කි.

ලකුණු 292ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි ඇෆ්ගනිස්තාන කණ්ඩායම සුපිරි සිව්දෙනාගේ වටයට සුදුසුකම් ලබාගැනීමට නම් එම ලකුණු සංඛ්‍යාව පන්දුවාර 37යි එක් පන්දුවක් තුළදී හඹා යෑම කළ යුතුව තිබුණි.

ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ පළමු කඩුලු තුන ලකුණු 50ක් තුළදී දවාගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත්වුණේ තරගයේ ජය දෙපිලටම විවෘත කරමිනි.

ශ්‍රී ලංකා පන්දු යවන්නන් මනාව පාලනය කළ හස්මතුල්ලා ෂහිඩි සහ රහමත් ෂා එක්ව සිව්වන කඩුල්ලට ලකුණු 71ක සබඳතාවක් ගොඩනැගීමට සමත්විය.

ශ්‍රී ලංකා පිලේ  ජයග්‍රහණය පිළිබඳ සිහිනය බොඳව යමින් තිබියදී පස්වන කඩුල්ල ලෙස මොහොමඩ් නබීගේ කඩුල්ල දවාගත් ශ්‍රී ලංකාව නැවතත් තරගයට අවතීර්ණවිය.

එහිදී තීරණාත්මක 38 වන පන්දුවාරය යැවීමේ වගකීම භාර වූයේ ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩක ධනංජය ද සිල්වා ටය.

ඔහු එම වගකීම මනාව ඉටුකරමින් පළමු පන්දුවෙන්ම කඩුල්ලක් දවාගැනීමට සමත්විය.

ඒ අනුව දළ ලකුණු ලබාගැනීමේ වේගය අනුව සුපිරි සිව්දෙනාගේ වටයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකාව සමත්විය.

කෙසේ වෙතත් ඔහු යොමුකළ අනෙක් පන්දු දෙකම නිලකුණු පන්දු වූ අතර 4 වන පන්දුවේදී ඇෆ්ගනිස්තාන අවසාන පිතිකරුද දවාගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ජය ගෙන ඒමට සමත්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *