විදේශගතව සිට පැමිණ නිරෝධායනයට ලක් නොවූ අය ළගම ඇති පොලිස්ථානයේ ලියාපදිංචි වන්න – යුද හමුදාපති

මාර්තු 01 වැනිදා සිට 15 දක්වා කාලය තුල විදේශගතව සිට මෙරටට පැමිනි තැනැත්තන් ළගම ඇති පොලිස්ථානයේ ලියාපදිංචි වන ලෙස දැනුම් දි ඇති අතර ඊයේ දිනයේ 11,400ක්ව පැවති එම ලියාපදිංචි පුද්ගලයන් සංඛ්‍යාව 15,000 දක්වා වර්ධනය වීම සතුටට කාරණයක් බව යුද හමුදාපති ශවේන්ච්ද්‍ර සිල්වා මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ Covid-19 පැතිරීම වැළැක්වීම ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ඊයේ (22) පැවති මාධ්‍ය හමුවේදීයි.

බුද්ධි අංශ, පොලිස් සහ සෞඛ්‍ය නිලධාරින් මාර්ගයෙන් ඔවුන්ට නිවෙස් තුළට වී නිරෝධායනය වන ලෙස උපදෙස් දී ඇති අතර , එහෙත් තවත් සුළු පිරිසක් තවමත් තම විස්තර ලබා නොදි ඉන්නා බව පැවසූ යුධහමුදාපතිවරයා හැකි ඉක්මනින් එම විස්තර ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය. මෙම රෝගය තව දුරටත් ව්‍යාප්ත විය හැක්කේ ඔවුන්ගෙන් පමණක් බවද යුධ හමුදාපතිවරයා අවධාරණය කර සිටියේය.

නිරෝධායන මධ්‍යස්ථාන 45 ක අද දිනය වන විට පුද්ගලයින් 3458 දෙනෙකු නිරෝධායනයට ලක් කර ඇතැයි ද මෙයින් 31 දෙනෙකු රටවල් 14කට අයත් විදේශිය ජාතිකයින් බවද ඒ මහතා කීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ යුධහමුදාපතිවරයා පැවසුවේ පසුගිය දිනවල උතුරේ චාරිකා කළ ස්විට්සර්ලන්තයෙන් පැමිණි කොරෝනා වෛරසය ආසාධිත දේවගැතිවරයා හමු වූ සහ ඇසුරු කළ සියලුදෙනා හඳුනාගන්නා තෙක් . උතුරේ දිස්ත්‍රික්ක 05 වෙසෙන ජනතාවට තමන් අයත් දිස්ත්‍රික්කයෙන් පිටතට ගමන් කිරීම තහනම් කර ඇඳිරිනීතිය පනවා ඇති බවයි.

මන්නාරම, වව්නියාව, මුලතිව්, කිලිනොච්චි සහ යාපනය යන උතුරු පළාතේ දිස්ත්‍රික්ක 05 වෙසෙන ජනයා කොරෝනා වෛරසයට ගොදුරුවීමෙන් ආරක්ෂා කරගනු පිණිස මේ තීරණය ගෙන ඇත. උතුරේ ජන ජීවිතය සුරක්ෂිත කරනු පිණිස ගෙන ඇති ක්‍රියාමාර්ගය සාර්ථක කර ගැනීමට පූර්ණ සහයෝගය දෙන්නැයි යුධ හමුදාපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

ඇඳිරි නීතිය ඉවත් කළද හැකි තරම් දුරට නිවෙස් තුළට වී,දුරස්තව සිට කටයුතු කරන ලෙසත් තවද අත්‍යවශ්‍ය ගමන් සඳහා පමණක් පොදු ප්‍රවාහන සේවා භාවිතා කරන ලෙසත් ශවේන්ද්‍ර සිල්වා මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

වයෝවෘද්ධ පුද්ගලයන්ද හැකි තරම් නිවෙස් තුළට වී කටයුතු කරන ලෙසද යුධ හමුදාපතිවරයා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *