රැකියා ලක්ෂයේ වැඩසටහන හෙට සිට ක්‍රියාත්මකයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයක් මත ක්‍රියාවට නැංවෙන අඩු ආදායම්ලාභීන් ලක්ෂයකට රැකියා ප්‍රදානය කිරීමේ වැඩපිළිවෙළ හෙට (02) දිනයේ සිට ක්‍රියාත්මක කෙරේ.

රැකියාලාභීන් හට මාස හයක අඛණ්ඩ පුහුණු කාලයක් ලබා දෙන අතර එම කාළය තුළ මසකට රුපියල් 22,500ක දීමනාවක් හිමි වන අතර, පුහුණුව සාර්ථකව නිම කරලීමෙන් පසුව තමා පුහුණුව ලැබූ ක්ෂේත්‍රයට අදාළව සිය ස්ථිර පදිංචි ප්‍රදේශය තුළ, රුපියල් 35,000ක වැටුපක් හා දීමනා හිමි රජයේ අනුමත ප්‍රාථමික ශිල්පීය නොවන ස්ථිර තනතුරකට පත් කෙරේ. වසර දහයක සතුටුදායක අඛණ්ඩ සේවා කාලයක් සපුරාලීමෙන් පසු රජයේ විශ්‍රාම වැටුප් හිමිකම මෙම අඩු ආදායම්ලාභීන් හට හිමිවේ.

රැකියාලාභීන් තෝරාගැනීමේදී කිසිදු අධ්‍යාපනයක් නොලද, අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළට අඩු අධ්‍යාපන මට්ටමක සිටින නුපුහුණු ශ්‍රමිකයන් වීම, අයැදුම්පත් කැඳවනු ලබන අවසන් දිනයට වයස අවුරුදු 18 නොඅඩු සහ අවුරුදු 40ට නොවැඩි වීම, සමෘද්ධි සහනාධාර ලැබීමට සුදුසු එහෙත් නොලබන පවුලක රැකියා විරහිත සාමාජිකයකු විම හෝ සමෘද්ධි සහනාධාර ලබන පවුලක එහෙත් රැකියා විරහිත සාමාජිකයකු වීම, වයස්ගත හෝ රෝගාතුර මවුපියන් හෝ ආබාධිත සාමාජිකයන් සිටින පවුලක රැකියා විරහිත සාමාජිකයකු වීම, අයදුම්කරන දිස්ත්‍රික්කයේ ස්ථිර පදිංචිකරුවකු වීම යන කරුණු සැලකිල්ලට ගැනේ.

මෙම රැකියා ප්‍රදානය රජයේ නිර්ණායක මත පමණක් සිදුකෙරෙන අතර යම් තැනැත්තකුට මුදලක් හෝ කිසියම් ආකාරයක අල්ලසක් හෝ දීම රැකියා අවස්ථාව ප්‍රතික්ෂේප වීමට හේතු වන බව ජනාධිපති කාර්යාලය නිවේදනය කර සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *