රටවල් අතර ආකර්ශණයට ලක්වූ “සිලෝන් ටී” නාමයට හානි වීමට ඉඩ නොදිය යුතුයි – ජනපති

දීර්ඝ කාලයක සිට ලොව සියලු රටවල් අතර ඉමහත් ආකර්ශණයට ලක්ව ඇති Ceylon Tea නාමයට හානි වීමට ඉඩ නොදිය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ ගුණාත්මක තේ නිෂ්පාදනය පිළිබඳව සුළු හා මධ්‍ය පරිමාණ තේ කම්හල් හිමියන් සහ අපනයනකරුවන් සමග අද (18) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති හමුවකදියි.

සීනි, ග්ලුකෝස් වර්ග සහ සෝඩියම් බයිකාබනේට්, පෙරස් සල්ෆේට් වැනි ද්‍රව්‍ය මිශ්‍රණයෙන් කෙරෙන තේ නිෂ්පාදන ගැන මෑතක සිට මාධ්‍ය මගින් වාර්තා වී ඇති බවත්, එවැනි තේ ලෝක වෙළෙඳ පොළේ දී ප්‍රතික්ෂේප වීමෙන් තේ කර්මාන්තය දැවැන්ත පසුබැසීමකට ගොදුරු වී ඇති බවත් ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

රටේ කීර්තිනාමයට මෙන්ම ලෝක වෙළෙඳ පොළේ Ceylon Tea සඳහා ඇති ඉල්ලුමට හානියක වීමට මින් ඉදිරියට කිසිසේත් ඉඩදිය නොහැකි බැවින්, ගම්මිරිස් වෙළෙඳ පොළට සිදුවූ හානියට තේ කර්මාන්තයටද සිදු නොවීමට ඉඩ නොතැබීම රජයේ වගකීම බවත් මෙහිදී ජනාධිපතිවරයා අවධාරණය කර සිටියේය.

තේ මණ්ඩලයේ සභාපති ජයම්පති මොල්ලිගොඩ මහතා පැවසුවේ ලෝක වෙළෙඳ පොළේ තේ සඳහා ඉල්ලුම 65% සිට 45% දක්වා පහළ වැටීමට තේ නිෂ්පාදනයේ ගුණාත්මක පරිහානිය බලපා ඇති බවත්, 705ක්ව පැවති මෙරට තේ කර්මාන්ත ශාලා අතරින් කර්මාන්ත ශාලා 45ක අයථා ක්‍රියාකාරකම් වාර්තා වූ බැවින් ඉන් 18ක තේ නිෂ්පාදනයද නතර කළ බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *