මිලියන 43 වංචාව සම්බන්ධයෙන් තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට

ව්‍යාජ චෙක්පත් ඉදිරිපත් කර වානේ කම්බි නිෂ්පාදන සමාගමකට අයත් පෞද්ගලික බැංකු ගිණුමකින් රුපියල් ලක්ෂ 430ක මුදලක් වංචා කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ දිනයේ දී අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගත් බවත් ඔහු ඇඹිලිපිටිය, නවනගරය ප්‍රදේශයේ පදිංචි
34 හැවිරිදි අයෙක් වන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

එම සැකකරු විසින් අදාළ සිදුවීම සිදුවු බවට සඳහන් අප්‍රේල් මස 12 වන දා කිරිබත්ගොඩ ප්‍රදේශයේ පිහිටි පුද්ගලික බැංකුවකින් ව්‍යාජ චෙක්පතක් ලබාදී රු ලක්ෂ 130ක මුදලක් ලබාගෙන ඇතැයි අනාවරණය වී තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ හා මුල්‍ය අපරාධ ඒකකය විසින් අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

අත්අඩංගුවට පත් වු සැකකරු අද දින අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

පසුගිය අප්‍රේල් මස 12 වන දා එම වානේ සමාගමේ සේවකයින් ලෙස පෙනී සිටිමින් සැකකරුවන් පිරිසක් ව්‍යාජ චෙක්පත් බැංකුවට ඉදිරිපත් කර රුපියල් ලක්ෂ 430ක මුදල් ලබා ගෙන තිබුණි.

ඒ පිළිබඳ වැඩිදුරටත් විමර්ශනය කිරීමෙන් අනතුරුව චෙක්පත් මාරු කිරීමට අදාළ ආයතනයේ සේවකයෙක් ලෙස එම ආයතනයේ නිල ඇඳුමින් සැරසී සැකකරුවන් ගොස් තිබු බවට අනාවරණය විය.

ඒ අනුව අදාළ මුදල් වංචාව සම්බන්ධයෙන් මේ වන විට බැංකු නිලධාරියෙක්, වානේ ආයතනයේ වැඩ කළ පුද්ගලයෙක් හා තවත් සැකකරුවන් 6දෙනෙක් මේ වන විට අත්අඩංගුවට ගෙන තිබේ.

ශ්‍රී ලංකාව තුළ ව්‍යාජ චෙක්පත් මුද්‍රණය කරමින් මෙවැනි වංචාවක් සිදුකළ පළමු අපරාධය මෙය බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

තවත් එක් සැකකරුවෙක් අත්අංඩගුවට ගැනීමට නියමිත අතර, ඔහු සම්බන්ධයෙන් මේ වන විට CCTV දර්ශන ඔස්සේ පරීක්ෂණ පවත්වන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *