මහ මැතිවරණයට අදාළ පෙත්සම්වල නීතිමය පදනමක් නෑ, විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන්නැයි ඉල්ලීමක්

පාර්ලිමේන්තු මැතිවරණය ලබන ජූනි මස 20 දින පැවැත්වීමට අදාළව මැතිවරණ කොමිසම විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය හා මාර්තු මස 02 දින පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කර ඇති ගැසට් නිවේදන බල රහිත කරන ලෙස ඉල්ලමින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම්වල කිසිදු නීතිමය පදනමක් නැති බැවින් එම පෙත්සම් විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටින අතිරේක සොලිසිටර් ජනරාල් ඉන්දිකා දේමුනි ද සිල්වා මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඊයේ (22) ඉල්ලීමක් කර තිබේ.

අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය මෙම ඉල්ලීම කරනු ලැබුවේ එම පෙත්සම් පස් වැනි දිනටත් ඊයේ (22) සලකා බැලූ අවස්ථාවේදීයි.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, සිසිර ආබෘෘ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මලල්ගොඩ මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් කැඳවූ අතර අදාළ පෙත්සම් හයවැනි දිනටත් සලකා බැලීම ලබන 26 වැනිදා උදේ 10 තෙක් කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළ අතර නීතිපතිවරයා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් ඉන්දිකා දේමුනි මහත්මියගේ මූලික විරෝධතා සම්බන්ධයෙන් එදිනටත් කරුණු දැක්වීමට නියමිතය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *