ශ්රී ලාංකික ශ්රමිකයන් සඳහා රුමේනියාවේ රැකියා අවස්ථා පුළුල් කිරීම සහ ඔවුන්ගේ සුබසාධනය හා යහපැවැත්ම තහවුරු කිරීම සඳහා සහයෝගීතාව ශක්තිමත් කිරීම පිළිබඳව ශ්රී ලංකාව සහ රුමේනියාව අතර සාකච්ඡා පවත්වා තිබේ.
විදේශ කටයුතු අමාත්යාංශය සඳහන් කළේ විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්ය අමාත්ය අරුණ හේමචන්ද්ර මහතා සහ රුමේනියාවේ කම්කරු, පවුල්, තරුණ හා සමාජ සහයෝගීතා අමාත්ය පෙට්රේ-ෆ්ලෝරින් මනෝලේ මහතා අතර බුකාරෙස්ට් නුවරදී පැවති හමුවකදී මෙම සාකච්ඡා සිදු වූ බවයි.
මෙහිදී නියෝජ්ය අමාත්ය අරුණ හේමචන්ද්ර මහතා, ශ්රී ලංකාවේ විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්ය විජිත හේරත් මහතාගේ සුබපැතුම් රුමේනියානු අමාත්යවරයා වෙත පිරිනමා ඇති අතර, ඔහු මෑතකදී යළි එම තනතුරට පත්වීම සම්බන්ධයෙන් ද සුබපැතුම් එක් කර තිබේ.
දෙරට අතර කම්කරු සහයෝගීතාව ශක්තිමත් කිරීම, ශ්රී ලාංකික ශ්රමිකයන්ට සුදුසු රැකියා අවස්ථා හඳුනා ගැනීම සහ ඔවුන්ගේ සුබසාධනය ප්රවර්ධනය කිරීම පිළිබඳව දෙපාර්ශ්වය සාකච්ඡා කර ඇත.
එමෙන්ම, ශ්රී ලංකා-රුමේනියා කම්කරු සහයෝගීතාව පිළිබඳ ඒකාබද්ධ ක්රියාකාරී කණ්ඩායම හරහා මෙතෙක් අත්කරගෙන ඇති ප්රගතිය තවදුරටත් ඉදිරියට ගෙන යාම සහ සහයෝගීතාව සඳහා නව ක්ෂේත්ර හඳුනා ගැනීම පිළිබඳව ද අවධානය යොමු වී තිබේ.
මෙම හමුව මගින් දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමටත්, දෙපාර්ශ්වයටම ප්රතිලාභ සැලසෙන අයුරින් සහයෝගීතාව පුළුල් කිරීමටත් ඇති කැපවීම යළි තහවුරු වූ බව විදේශ කටයුතු අමාත්යාංශය සඳහන් කළේය.
රුමේනියාවේ කම්කරු, පවුල්, තරුණ හා සමාජ සහයෝගීතා අමාත්යාංශයේ රාජ්ය ලේකම් සිප්රියන්-නිකොලායේ වකාරු මහතා සහ රුමේනියාවේ ශ්රී ලංකා තානාපති සමන්ත පතිරණ මහතා ද මෙම හමුවට සහභාගී වී තිබේ.


