ඇයගේ අධ්යාපනික ජයග්රහණ සහ හමුදා අධ්යාපනය වෙනුවෙන් කළ දායකත්වය ඇගයීම සඳහා ශ්රී ලංකාවේ ඇමරිකානු තානාපති එරික් මේයර් මහතා ඔක්තෝබර් 26 වැනිදා කොළඹ ඇමරිකානු මධ්යස්ථානයේ පැවති උත්සවයකදී ඇයට උපාධි සහතිකය පිරිනැමීය.
කැලිෆෝනියාවේ මොන්ටෙරේහි පිහිටි නාවික පශ්චාත් උපාධි පාසලේ ආරක්ෂක සැපයුම් කළමනාකරණ වැඩසටහන සාර්ථකව සම්පූර්ණ කළ පියුමි කත්රිආරච්චි මහත්මිය තම පන්තියේ ඉහළම ප්රතිඵල ලැබූ සිසුන් අතරට එක්වීමට සමත් වූවාය.
ඊට අමතරව, ඇය සම්මාන දෙකක් ද හිමිකරගෙන තිබේ. ඒ නාවික පශ්චාත් උපාධි පාසලේ විශිෂ්ටතම පර්යේෂණ නිබන්ධනය සඳහා පිරිනැමෙන සම්මානය සහ මොන්ටෙරේ කිවානිස් සමාජය විසින් පිරිනමනු ලබන විශිෂ්ටතම ජාත්යන්තර ශිෂ්ය සම්මානයයි. දෙවැනි සම්මානය සෑම වසරකම එම විශ්වවිද්යාලයේ ජාත්යන්තර සිසුන් දෙදෙනෙකුට පමණක් පිරිනැමේ.
හොරණ තක්ෂිලා මධ්ය මහා විද්යාලයේ ආදි ශිෂ්යාවක වන පියුමි කත්රිආරච්චි මහත්මිය, 2013 වසරේදී ශ්රී ලංකා නාවික හමුදාවේ කාන්තා මධ්ය නිලධාරිනියක ලෙස කීර්තිමත් “ගෞරව අසිපත” (Sword of Honour) සම්මානය හිමිකරගත් පළමු කාන්තාව බවට පත්වෙමින් ඉතිහාසයට එක් වූවාය.
උත්සවයේදී අදහස් දැක්වූ ඇමරිකානු තානාපති එරික් මේයර් මහතා ඇයගේ ජයග්රහණ අගය කළ අතර, ශ්රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා හමුදා අධ්යාපනයේ වැදගත්කම ද අවධාරණය කළේය.
“ලුතිනන් කමාන්ඩර් කත්රිආරච්චිගේ ජයග්රහණවලින් පිළිබිඹු වන්නේ ඇයගේ සුවිශේෂී කැපවීම මෙන්ම ලෝක මට්ටමේ ඇමරිකානු හමුදා අධ්යාපනයේ වටිනාකමයි,” යනුවෙන් තානාපතිවරයා පැවසීය.
ඇමරිකානු අරමුදල් යටතේ ලැබූ පුහුණුව තුළින් ඇය ලබාගත් දැනුම හා කුසලතා ශ්රී ලංකා නාවික හමුදාව ශක්තිමත් කිරීමටත්, ඉන්දියානු සාගර කලාපය වඩාත් සුරක්ෂිත කිරීමටත් දායක වනු ඇතැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
ඇයගේ අධ්යාපන කටයුතු සඳහා ශ්රී ලාංකික හමුදා සාමාජිකයන්ගේ වෘත්තීය සංවර්ධනයට සහාය වන ඇමරිකානු ජාත්යන්තර හමුදා අධ්යාපන හා පුහුණු වැඩසටහන (IMET) යටතේ අරමුදල් සපයා තිබේ.
ඇය සම්මානලාභී පර්යේෂණ නිබන්ධනයෙන් අවධානය යොමු කර ඇත්තේ ශ්රී ලංකා නාවික හමුදාව මුහුණ දෙන අමතර කොටස් මිලදී ගැනීමේ අභියෝග පිළිබඳවයි. නාවික හමුදාවේ මෙහෙයුම් සූදානම සහ සැපයුම් කළමනාකරණය වැඩිදියුණු කිරීමට අදාළ ගැටලු ද එම පර්යේෂණයෙන් විමර්ශනය කර ඇත.
ඇමරිකාවේ අධ්යාපන අත්දැකීම පිළිබඳව අදහස් දක්වමින් පියුමි කත්රිආරච්චි මහත්මිය කියා සිටියේ, එම අධ්යාපනය නාවික හමුදාව මුහුණ දෙන සැබෑ අභියෝගවලට විසඳුම් සෙවීම සඳහා ප්රායෝගික දැනුමක් ලබාදුන් බවයි.
“ඇමරිකාවේ ගත කළ කාලය අපගේ නාවික හමුදාව මුහුණ දෙන සැබෑ අභියෝගවලට විසඳුම් සෙවීම සඳහා නව මෙවලම් සහ දැනුම මට ලබා දුන්නා. ශ්රී ලංකාව වෙනුවෙන් සේවය කරමින් එම දැනුම ප්රායෝගිකව යොදාගැනීමට මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපේ රටට වෙනසක් ඇති කළ හැකි අවස්ථා හඹා යෑමට මගේ අත්දැකීම තවත් තරුණ ශ්රී ලාංකිකයන්ට දිරිගැන්වීමක් වනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා,” යනුවෙන් ඇය පැවසුවාය.
උත්සවයෙන් අනතුරුව ඇය ඇමරිකානු මධ්යස්ථානයේදී ශ්රී ලාංකික තරුණ තරුණියන් සමඟ අදහස් හුවමාරු කරගනිමින් අධ්යාපන අවස්ථා ප්රයෝජනයට ගෙන රටේ සංවර්ධනයට දායක වන ලෙස ඔවුන් දිරිමත් කළාය.
ශ්රී ලංකා නාවික හමුදාවේ පුහුණු අධ්යක්ෂ ජනරාල් රියර් අද්මිරාල් රොහාන් ජෝසප් මහතා සහ මාධ්ය අධ්යක්ෂ කමාන්ඩර් සී.ආර්.පී. වළකුළුගේ මහතා ද මෙම උත්සවයට සහභාගී වූහ.


