‘‘පොහොර,කෘෂි රසායන සාධාරණ මිලකට දෙනවා‘‘

පොහොර මිටිය රුපියල් 5000ට, කෘෂි රසායන සාධාරණ මිලකට, වී සඳහා සහතික මිලක් දෙන, ගොවි ණය කපා හරින යුගයක් වෙනුවෙන් සමගි ජන බලවේගය හා එක්වන්නැයි සමගි ජනසන්ධානයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පොලොන්නරුවේදී පැවසීය.

ගොවියාටත් පාරිභෝගිකයාටත් අසාධාරණයක් සිදු කරන වංචාවන්ට ඉඩ නොදී පාරිභෝගිකයාට සාධාරණ මිලක් මෙන්ම ගොවි නිෂ්පාදනයට සාධාරණ සහතික මිලක් ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

ජනාධිපතිවරණය වෙනුවෙන් සමගි ජන බලවේගයේ දාහතර වැනි විජයග්‍රාහී ජන රැළිය පොළොන්නරුව හිගුරක්ගොඩ නගරයේ දී අමතමින් සමගි ජනසන්ධානයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසීය.

ගොවියාවට අවශ්‍ය වන ගුණාත්මකභාවයෙන් ඉහළ පොහොර කි.ග්‍රෑම් 50 මිටිය රුපියල් 5000කට ලබා දෙන්න කටයුතු කරන බවත් කෘෂිරසායන තෙල් පොහොර මිල නියාමනයකට ලක් කර කළුකඩ වෙළෙදුන්ගෙන් මිල වැඩි වීමේ ක්‍රමවේදය මුදා ගෙන දරාගත හැකි මිලකට කෘෂි රසායන ලබා දෙන බවත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

පොහොර බෙදා දීමේ දී ගොවිජන සේවා මධ්‍යස්ථාන කේන්ද්‍ර කර ගෙන විනිවිදභාවයෙන් යුක්තව එම වැඩසටහන් ක්‍රියාත්මක කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

කිව් ආර් කේත කේන්ද්‍ර කර ගෙන ගොවියාට, ධිවරයාට, ත්‍රීරෝදරථ රියදුරන්ට, පාසල් ප්‍රවාහන සේවාවලට සහ වී මෝල් හිමියන්ට ඉන්දන සහනාධාරයක් දෙන බවත් ඔහු කීවේය.

පාස්කු ප්‍රහාරය, කොරෝනා ව්‍යසනය, කාබනික පොහොර වංචාව, නැනෝ පොහොර වංචාව නිසා ගොවි ජනතාව විපතට පත්ව ඇති බවත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

තමන්ගේ සීමාසහිත මුදල් උපයෝගී කර ගෙන කණකර උකස් කර ගොවිතැනේ නියැලෙන ජනතාවට පසුගිය කාලයේ පහර පිට පහර එල්ල වෙමින් අසීමිත පීඩනයක් පැටවූ බවත් මේ පීඩනයෙන් අසහනයට ලක්ව වේල් 3 දෙන්න බැරි වූ ජනතාව වෙනුවෙන් වගා ණය කපා හරින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තිස්ස අත්තනායක, ආචාර්ය හර්ෂ ද සිල්වා, නලීන් බණ්ඩාර, රෝහිනි කවිරත්න, දයාසිරි ජයසේකර, කිංස්ලි නෙල්සන් යන මහත්වරුන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *