හෝමාගම ටෙක් සිටි වෙත ප්‍රවේශය පහසු කිරීමට මාර්ග ඉදිකිරීම් කඩිනම් කිරීමට කැබිනට් අනුමැතිය

හෝමාගම, පිටිපන, මහේනවත්ත තාක්ෂණ නගර ව්‍යාපෘතියට ප්‍රවේශය වැඩිදියුණු කිරීම සඳහා ඉතිරිව ඇති මාර්ග ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

නවෝත්පාදන සහ දැනුම මත පදනම් වූ තාක්ෂණය කේන්ද්‍ර කර ගනිමින් ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමේ අරමුණින් ටෙක් සිටි ව්‍යාපෘතිය ආරම්භ කර තිබේ.

හෝමාගම නගරයේ රථවාහන තදබදය අවම කරමින් ටෙක් සිටි වෙත සෘජු ප්‍රවේශයක් ලබාදීම සඳහා හෝමාගම, වලව්වත්ත සිට කොටුවන දක්වා බටහිර බයිපාස් මාර්ගය ඉදිකිරීම 2020 වසරේදී ආරම්භ කර ඇත. එම මාර්ගය උසස් මාර්ගය හා සම්බන්ධ කිරීම සඳහා තවත් මීටර් 50ක පමණ කොටසක් පමණක් ඉදිකිරීමට ඉතිරිව තිබේ.

මීට අමතරව, ටෙක් සිටි පරිශ්‍රය හරහා පිටිපන-දම්පේ මාර්ගය, ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයේ සිට ශ්‍රී ලංකා ජෛව තාක්ෂණ ආයතනය දක්වා ඇති ප්‍රවේශ මාර්ගය ඔස්සේ කොට්ටාව-තලගල මාර්ගය හා සම්බන්ධ කිරීමටද සැලසුම් කර තිබේ. එම මාර්ග කොටසේද මීටර් 650ක පමණ ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට ඉතිරිව ඇත.

බටහිර බයිපාස් මාර්ගයේ ඉතිරි කොටස සහ ජෛව තාක්ෂණ ආයතනය වෙත ඇති ප්‍රවේශ මාර්ගය යන දෙකම දේශීය අරමුදල් යොදා ගනිමින් අවසන් කිරීමට නියමිතය.

මෙම මාර්ග ඉදිකිරීම් අවසන් කිරීමෙන් ටෙක් සිටි වෙත සෘජු ප්‍රවාහන සම්බන්ධතාවක් ලබාදීමට මෙන්ම ප්‍රදේශයේ රථවාහන තදබදය අවම කිරීමටද හැකි වනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *