පාසල් ක්‍රිකට් සංවර්ධන වැඩසටහන යටතේ දිවයින පුරා පාසල් 500ක් සඳහා රුපියල් මිලියන 65කට වැඩි වටිනාකමකින් යුත් ව්‍යායාම සහ ක්‍රීඩා උපකරණ කට්ටල බෙදාදීමේ පළමු අදියර තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය විසින් ආරම්භ කර තිබේ.
පාසල් ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රමිතිය ඉහළ නැංවීම සහ සිසුන්ගේ ශාරීරික යෝග්‍යතාව වැඩිදියුණු කිරීම මෙම වැඩසටහනේ අරමුණ බව අමාත්‍යාංශය සඳහන් කරයි.
2024 අයවැයෙන් වෙන් කළ ප්‍රතිපාදන මත ආරම්භ වූ මෙම වැඩසටහන ජනාධිපති ලේකම් කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය, ක්‍රීඩා අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය එක්ව ක්‍රියාත්මක කරයි.
වැඩසටහනේ පළමු අදියර ලෙස 2024 වසරේදී රුපියල් මිලියන 408ක වියදමින් පාසල් සඳහා නව පුහුණු කඩුලු 273ක් සහ ක්‍රීඩාංගණ 76ක් ඉදිකර තිබේ.
2025 වසරේදී අලුතින් ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ කළ පාසල් 325ක් සඳහා එක් කට්ටලයකට ආසන්න වශයෙන් රුපියල් 350,000ක් වටිනා ක්‍රිකට් උපකරණ කට්ටල ලබාදී ඇත.
නවතම අදියර යටතේ එක් කට්ටලයක වටිනාකම රුපියල් 100,000කට වැඩි වන ව්‍යායාම සහ ක්‍රීඩා උපකරණ කට්ටල බෙදාදීම මේ වනවිට ආරම්භ කර ඇති අතර, ග්‍රාමීය පාසල් කෙරෙහි විශේෂ අවධානය යොමු කර තිබේ.
මෙම උපකරණ බෙදාදීමේ ක්‍රියාවලිය විනිවිදභාවයකින් යුතුව සිදුකරමින් බාහිර බලපෑම් වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් අධීක්ෂණය කරනු ලබයි.
තෝරාගත් පාසල් 500 අතරින් කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් 48ක් සඳහා උපකරණ කට්ටල බෙදාදීම අද සිදුකර තිබේ.
ලබාදෙන උපකරණ නිසි පරිදි භාවිත කිරීම සහතික කිරීම සඳහා පළපුරුදු උපදේශකයන් විසින් සකස් කරන ලද කෙටි උපදෙස් වීඩියෝද සිසුන් සහ ගුරුවරුන් වෙත දිස්ත්‍රික් මට්ටමේ WhatsApp කණ්ඩායම් හරහා යොමු කිරීමට නියමිතය. එමගින් වැඩසටහනේ ප්‍රගතියද කාර්යක්ෂමව අධීක්ෂණය කිරීමට හැකියාව ලැබෙනු ඇත.
මෙම උපකරණ බෙදාදීමේ අවස්ථාවට තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ, ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න, තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක, අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රීඩා අධ්‍යක්ෂවරයා, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සහ පාසල් ක්‍රිකට් සංගමයේ නිලධාරීන් මෙන්ම විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ පාසල් සිසු සිසුවියන් සහභාගී වී තිබේ.


