2026 උසස් පෙළ ප්‍රායෝගික පරීක්ෂණ සැප්තැම්බර් 24 සිට

2026 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ලිඛිත පරීක්ෂණ සඳහා පෙනී සිටි අපේක්ෂකයන් වෙනුවෙන් ප්‍රායෝගික පරීක්ෂණ දිවයින පුරා පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

ඒ අනුව නැටුම් (උඩරට සහ භරත), සංගීතය (පෙරදිග, කර්ණාටක සහ බටහිර) සහ නාට්‍ය හා රංග කලාව (සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි) යන විෂයන්හි ප්‍රායෝගික පරීක්ෂණ සැප්තැම්බර් 24 සිට ඔක්තෝබර් 3 දක්වා පැවැත්වීමට නියමිතය.

ඉංජිනේරු තාක්ෂණවේදය විෂයේ ප්‍රායෝගික පරීක්ෂණ සැප්තැම්බර් 30 සිට ඔක්තෝබර් 10 දක්වා පැවැත්වෙන අතර, ගෘහ ආර්ථික විද්‍යාව විෂයේ ප්‍රායෝගික පරීක්ෂණ ඔක්තෝබර් 10 සිට 20 දක්වා පැවැත්වීමට නියමිතය.

ජෛව පද්ධති තාක්ෂණවේදය විෂයේ ප්‍රායෝගික පරීක්ෂණ ඔක්තෝබර් 17 සිට 21 දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබේ.

පාසල් අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර අදාළ පාසල්වල විදුහල්පතිවරුන් වෙත යොමු කරන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර ඔවුන් අයදුම්පත්වල සඳහන් කළ ලිපිනයට තැපැල් මගින් විභාග ආරම්භයට පෙර යොමු කිරීමට කටයුතු කෙරේ.

එමෙන්ම ප්‍රායෝගික පරීක්ෂණ ආරම්භ කිරීමට දින හතකට පෙර සිට විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය ඔස්සේ ප්‍රවේශ පත්‍ර බාගත කර ගැනීමට අපේක්ෂකයන්ට හැකියාව ලැබේ.

වැඩිදුර තොරතුරු සඳහා විභාග දෙපාර්තමේන්තුවේ 1911 ක්ෂණික දුරකථන අංකය හෝ 0112785922, 0112784537, 0112786616 සහ 0112784208 යන දුරකථන අංක ඔස්සේ විමසීම් කළ හැකිය.

එමෙන්ම විමසීම් gcealexam@gmail.com විද්‍යුත් තැපැල් ලිපිනයටද යොමු කළ හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *