“ජාති හෝ ආගම් භේදයකින් තොරව අනෝජන් නිදහස් කර ගැනීමට උපරිමයෙන් කටයුතු කරනවා” සජිත් කියයි

සෞදි අරාබියේදී මරණ දඬුවමකට මුහුණ දී සිටින බවට වාර්තා වන ශ්‍රී ලාංකිකයෙකු වන සිවරාස අනෝජන් මහතාගේ පවුලේ සාමාජිකයන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී තිබේ. මෙම හමුව කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්විණි.

අනෝජන්ගේ පියා වන තම්බිරාජා සිවරාස, මව වන රසමාණික්කම් යෝගලක්ෂ්මි සහ සහෝදරයා වන සිවරාස හම්සිදන් මෙම සාකච්ඡාවට සහභාගී වී ඇති අතර, අනෝජන්ගේ වත්මන් තත්ත්වය සහ ඔහු නිදහස් කර ගැනීම සඳහා ගෙන ඇති පියවර පිළිබඳව එහිදී සාකච්ඡා කර තිබේ.

සාකච්ඡාව අතරතුර සජිත් ප්‍රේමදාස මහතා ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපතිවරයා දුරකථනයෙන් සම්බන්ධ කර ගනිමින් අනෝජන්ගේ නඩු කටයුතු සහ ඔහු නිදහස් කර ගැනීමේ හැකියාව පිළිබඳව විමසා තිබේ.

එමෙන්ම සෞදි අරාබියේ බන්ධනාගාරයක රඳවා සිටින අනෝජන් සමඟද දුරකථනයෙන් සම්බන්ධ වී ඔහුගේ සුවදුක් පිළිබඳව විමසා ඇත.

ඉන් අනතුරුව සජිත් ප්‍රේමදාස මහතා ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා සමඟද දුරකථනයෙන් සාකච්ඡා කරමින් අනෝජන් නිදහස් කර ගැනීම සඳහා රජය ගෙන ඇති පියවර පිළිබඳව තොරතුරු විමසා තිබේ.

ජාති හෝ ආගම් භේදයකින් තොරව අනෝජන් නිදහස් කර ගැනීම සඳහා හැකි සෑම පියවරක්ම ගන්නා බවට විපක්ෂ නායකවරයා ඔහුගේ පවුලේ සාමාජිකයන්ට සහතික වී ඇත.

මේ අතර, අනෝජන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සමීපව අවධානය යොමු කරමින් සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශය මීට පෙර සඳහන් කර තිබේ. ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා සෞදි බලධාරීන් සමඟ රාජ්‍ය තාන්ත්‍රික මාර්ග ඔස්සේ සාකච්ඡාද සිදුකරන බව අමාත්‍යාංශය පවසා ඇත.

කෙසේ වෙතත්, අනෝජන්ට මරණ දඬුවමක් නියම කර ඇති බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය මෙතෙක් නිල වශයෙන් තහවුරු කර නොමැති අතර, සෞදි අධිකරණයේ නිල ලිඛිත තීන්දුව ලැබෙන තෙක් එම තොරතුර සම්බන්ධයෙන් තවදුරටත් තහවුරු කිරීමක් අපේක්ෂා කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *