මෑතකදී තම ක්‍රීඩා උපකරණවලට සිදුවූ හානියෙන් පසු හෙල්ල මිලදී ගැනීම සඳහා මූල්‍ය ආධාර ලබාදීමට ඉදිරිපත් වූ සියලු දෙනාට ස්තූතිය පළ කරන අතර, එම ත්‍යාගශීලීත්වය දිවයින පුරා සිටින අනෙකුත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙතද යොමු කරන ලෙස ශ්‍රී ලංකාවේ හෙල්ල විසිකිරීමේ ශූර රුමේෂ් තරංග මහතා ඉල්ලා තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කර ඇත්තේ තම ක්‍රීඩා උපකරණවලට හානි සිදුකළ සමාගම විසින් නව හෙල්ල ලබාදීමට නියමිත බැවින්, තමන්ට එම උපකරණ සඳහා තවදුරටත් මුදල් වැය කිරීමට සිදු නොවන බවයි.
කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ තවත් බොහෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අත්‍යවශ්‍ය ක්‍රීඩා උපකරණ මිලදී ගැනීම සඳහා තම පෞද්ගලික මුදල් වැය කිරීමට සිදුවන බව ඔහු පෙන්වා දී තිබේ.
හෙල්ල 100ක් මිලදී ගැනීමට ප්‍රමාණවත් මූල්‍ය ආධාර ලබාදීමට පවා තමන් වෙත ඉදිරිපත් වී ඇති බව සඳහන් කළ තරංග මහතා, එම සහයෝගය ශ්‍රී ලංකාවේ අනෙකුත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙතද ලබාදෙන ලෙස ඉල්ලා ඇත.
“කරුණාකර ඒ ආදරය අපේ රටේ අනෙකුත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ටත් ලබාදෙන්න. මොකද ශ්‍රී ලංකාවේ ක්‍රීඩාවක් කරගෙන යන එක ඉතා අපහසුයි,” යනුවෙන් ඔහු පවසා තිබේ.
කෙසේ වෙතත්, තමන් කිසිදු පුද්ගලයෙකුගෙන් මුදල් හෝ රුපියලක් හෝ ලබාගෙන නොමැති බවද තරංග මහතා අවධාරණය කර ඇත.
තමන්ගේ ඉල්ලීමේ අරමුණ වූයේ මූල්‍ය දුෂ්කරතාවලට මුහුණ දෙන පවුල්වලින් පැමිණෙන දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් මුහුණ දෙන ගැටලු පිළිබඳව අවධානය යොමු කිරීම බවද ඔහු පැහැදිලි කර තිබේ.
මේ අතර, 2026 ආසියානු ක්‍රීඩා උළෙල අවසන් වීමෙන් පසු සැලකිය යුතු වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට තමන් අපේක්ෂා කරන බවද රුමේෂ් තරංග මහතා සඳහන් කර ඇත.


