කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක සදහා ඇදිරිනීතිය තාවකාලිකව ඉවතට

කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වනතුරු ක්‍රියාත්මක වන අතර සෙසු සියළු දිස්ත්‍රික්කවල පනවා ඇති ඇඳිරී නීතිය අද (01) උදෑසන 6.00ට ඉවත් කර දහවල් 2.00ට යළි පනවනු ලැබේ.

කොරෝනා වෛරස ව්‍යාප්තිය සලකන විට ඉහළ අවදානමක් සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම බලාත්මකව පවතින බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර ඇත.

ඇදිරි නීතිය ඉවත් කෙරෙන මෙම දිස්ත්‍රික්කවල අත්‍යාවශ්‍ය සේවා හැර වෙනත් කාර්යයන් සඳහා දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම් කර ඇත. අත්‍යාවශ්‍ය සේවා කර්යක්ෂමව පවත්වාගෙන යනු පිණිස යොදා ඇති ක්‍රමවේද අවභාවිත කරන අයට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරනු ලැබේ.

කළුතර දිස්ති‍්‍රක්කයේ අටළුගම සහ මහනුවර දිස්ති‍්‍රක්කයේ අකුරණ යන ගම්මාන තවදුරටත් සම්පූර්ණයෙන් හුදෙකලා ප‍්‍රදේශ ලෙස නම් කර තිබේ. කිසිවෙකුට හෝ එම ගම්මානවලට ඇතුළුවීම හෝ පිටවීම සම්පූර්ණයෙන්ම තහනම් බවයි අවධාරණය කෙරුණේ.

කොරෝනා වෛරසය ව්‍යාප්තිය නතර කිරීමට ඉවහල් වන ක්‍රියාමාර්ග ගෙන ඇත්තේ හුදෙක් ජනතාවගේ සුභ සිද්ධිය උදෙසා බැවින් එකී ක්‍රියාමාර්ග සහ උපදෙස් වගකීමෙන් පිළිපදින ලෙස රජය ජනතාවගෙන් ඉල්ලා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *