කෙරවලපිටියට තවත් මෙගාවොට් 350ක විදුලි බලාගාරයක්: ආයෝජනය ඩොලර් මිලියන 291ක්

කෙරවලපිටිය කර්මාන්ත කලාපයේ මෙගාවොට් 350ක RLNG/ඩීසල් භාවිතයෙන් ක්‍රියාත්මක කළ හැකි ඒකාබද්ධ චක්‍රීය විදුලි බලාගාරයක් ඉදිකිරීම සඳහා Sahasdhanavi Limited සමාගම සමඟ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) ඇති කරගත් ගිවිසුම ලියාපදිංචි කිරීම සහතික කර තිබේ.

BOI නිවේදනයකට අනුව, මෙම ව්‍යාපෘතිය සඳහා අපේක්ෂිත සමස්ත ආයෝජනය ඇමරිකානු ඩොලර් මිලියන 291.19ක් වන අතර, බලාගාරය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වූ පසු නව රැකියා අවස්ථා 1,147ක් නිර්මාණය කිරීමට අපේක්ෂා කෙරේ.

ගිවිසුම අත්සන් කළ දින සිට මාස 42ක් ඇතුළත ව්‍යාපෘතිය අවසන් කිරීමට සැලසුම් කර තිබේ.

1978 අංක 4 දරන BOI පනතේ 17(2) වගන්තිය යටතේ මෙම ගිවිසුම ලියාපදිංචි කර ඇති අතර, උපායමාර්ගික යටිතල පහසුකම් සඳහා ඉහළ වටිනාකමකින් යුත් ආයෝජන ආකර්ෂණය කර ගැනීම සහ ජාතික බලශක්ති ආරක්ෂාව ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකාව දරන උත්සාහය මෙම ව්‍යාපෘතියෙන් පිළිබිඹු වන බව BOI පවසයි.

ව්‍යාපෘතියේ ආයෝජන ව්‍යුහයට ඇමරිකානු ඩොලර් මිලියන 90ක කොටස් ප්‍රාග්ධනයක්, ඩොලර් මිලියන 196.19ක ණය ප්‍රාග්ධනයක් සහ ඩොලර් මිලියන 5ක වෙනත් මූලාශ්‍රවලින් ලැබෙන මුදලක් ඇතුළත් වේ. එම මුදල් ස්ථාවර වත්කම් සහ කාරක ප්‍රාග්ධනය සඳහා යොදා ගැනීමට නියමිතය.

Build-Own-Operate-Transfer (BOOT) ක්‍රමවේදය යටතේ ඉදිකෙරෙන මෙම බලාගාරය අදියර දෙකකින් ජාතික විදුලිබල පද්ධතියට සෘජුව විදුලිය සැපයීමට නියමිතය.

පළමු අදියරේදී LNG භාවිතයෙන් මෙගාවොට් 243ක විදුලිබලයක් සහ ඩීසල් භාවිතයෙන් මෙගාවොට් 213ක විදුලිබලයක් නිපදවිය හැකි ගෑස් ටර්බයිනයක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

දෙවන අදියරේදී LNG භාවිතයෙන් මෙගාවොට් 107ක සහ ඩීසල් භාවිතයෙන් මෙගාවොට් 105ක විදුලිබලයක් නිපදවිය හැකි වාෂ්ප ටර්බයිනයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

ආරම්භයේදී බලාගාරය ඩීසල් භාවිතයෙන් ක්‍රියාත්මක කිරීමට නියමිත අතර, ජාතික මට්ටමේ අවශ්‍ය යටිතල පහසුකම් ස්ථාපිත වූ පසු නැවත වායුකරණය කළ ද්‍රව ස්වාභාවික වායු (RLNG) භාවිතයට මාරුවීමට හැකි වන පරිදි බලාගාරය සැලසුම් කර ඇත.

එමගින් වඩාත් පිරිසිදු ඉන්ධන මිශ්‍රණයක් භාවිත කිරීමටත්, වඩාත් විශ්වාසදායක විදුලි සැපයුමක් තහවුරු කිරීමටත් හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මේ වනවිටත් කෙරවලපිටිය ප්‍රදේශයේ මෙගාවොට් 350ක Sobadhanavi සහ මෙගාවොට් 300ක Yugadhanavi ඒකාබද්ධ චක්‍රීය විදුලි බලාගාර ක්‍රියාත්මක වේ.

Sahasdhanavi බලාගාරයද එක් වූ පසු කෙරවලපිටිය ප්‍රදේශයේ සමස්ත විදුලි උත්පාදන ධාරිතාව මෙගාවොට් 1,000කට ආසන්න මට්ටමකට ඉහළ යනු ඇත.

ඒ අනුව කෙරවලපිටිය ශ්‍රී ලංකාවේ ප්‍රධාන විදුලිබල කේන්ද්‍රස්ථානයක් ලෙස තවදුරටත් ශක්තිමත් වන අතර, මෙරට බලශක්ති ක්ෂේත්‍රය කෙරෙහි ආයෝජකයන්ගේ අඛණ්ඩ විශ්වාසයද මෙම ව්‍යාපෘතියෙන් පෙන්නුම් කරන බව BOI සඳහන් කරයි.

විදුලි උත්පාදනයට අමතරව ඉදිකිරීම්, ඉංජිනේරු, ප්‍රසම්පාදන, නිෂ්පාදන, ප්‍රවාහන සහ අනෙකුත් ආශ්‍රිත සේවා ක්ෂේත්‍රවලටද මෙම ව්‍යාපෘතියෙන් පුළුල් ආර්ථික ප්‍රතිලාභ හිමිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

එමෙන්ම දේශීය ශ්‍රම බලකායේ තාක්ෂණික දැනුම සහ කුසලතා වර්ධනය කිරීමටද මෙම ව්‍යාපෘතිය දායක වනු ඇතැයි BOI පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *