කුලියාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවකට කොවිඩ් – වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු 43ක් නිරෝධායනයට

පසුගිය 12 වෙනිදා හෘද රෝගී තත්වයක් හේතුවෙන් කුලියාපිටිය රෝහලට ඇතුලත්ව ප‍්‍රථිකාර ලබමින් සිටි කාන්තාවකට සිදුකළ PCR පරීක්ෂණයකදී ඇයට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ. මෙම තත්වය නිසා අදාළ කාන්තාව පළමුව ප්‍රතිකාර කිරීමට ඇතුලත් කළ රෝහලේ 15 හා 11 යන වාට්ටු දෙක සහ දැඩි සත්කාර ඒකකය වසා දැමීමට රෝහල් බලධාරීන් පියවර ගෙන තිබේ.

උද්ගතවී ඇති තත්වය මත කුලියාපිටිය රෝහලට නව රෝගීන් ඇතුළත් කිරීම මේ වනවිට නවතා ඇති බවත්, මේ වනවිට ප‍්‍රථිකාර ලබමින් සිටින රෝගීන්ට එලෙසින්ම ප‍්‍රථිකාර කිරීම දිගටම සිදුකරනු ලබන බවත් රෝහල් ආරංචිමාර්ග සදහන් කරයි.

කුලියාපිටිය රෝහල් අධ්‍යක්‍ෂකවරයා සඳහන් කරන්නේ මෙම රෝගීයාට ප‍්‍රථිකාර කළ සාත්තු කළ සහ ඇප උපස්ථාන කළ වෛද්‍යවරුන්, හෙද හෙදියන් ඇතුළු සෙසු කාර්ය මණ්ඩලයේ 43 දෙනෙකු නිරෝධායනය කිරීමට නව නිරෝධායන මධ්‍යස්ථානයක් කුලියාපිටිය යාකරවත්ත ගුරු පුහුණු මධ්‍යස්ථානයේ ප‍්‍රථිස්ථාපනය කිරීමට මේ වනවිට කටයුතු සිදුකරන බවයි.

මෙම කාන්තාව කුලියාපිටිය ප්‍රදේශයේ කොරෝනා රෝගීන් කිහිපදෙනෙකු හමුවූ විවාහ මංගල උත්සවයකට සහභාගිවී ඇති බවට වෛද්‍යවරුන්ට තොරතුරු ලැබී ඇති අතර, ඒ අනුව ඇය PCR පරීක්ෂණයකට යොමු කර තිබේ. එහිදී එම කාන්තාව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනා ගත් බවයි රෝහල් අධ්‍යක්ෂකවරයා සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *