ක්‍රිකට් ක්‍රීඩකයින්ට තීරණයක් ගැනීමට අද සවස 3 තෙක් කල් දෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කොන්ත්‍රාත් සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා ක්‍රීඩකයින්ට අද සවස 3 තෙක් බලධාරීන් විසින් කාලය ලබාදී ඇතැයි වාර්තා වේ.

ක්‍රිකට් ක්‍රීඩක කොන්ත්‍රාත් සම්බන්ධයෙන් ඇති වී ඇති මතභේදය ගැන අද පෙරවරුවේ කොළඹ දී අදාළ පාර්ශ්ව විසින් සාකච්ඡාවක් පවත්වා තිබේ.

ක්‍රීඩකයින් එහිදී කොන්ත්‍රාත් සඳහා අත්සන් කරන්නේ ද යන්න පිළිබඳව සිය තීරණය දන්වා නොමැති අතර එම හේතුවෙන් තීරණයක් ගැනීමට ඔවුන්ට කාලයක් ලබාදීමට බලධාරීන් තීරණය කර තිබුණි.

මේ අතර පසුගියදා වාර්තා වූයේ ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතයේ ක්‍රීඩකයින් 38 දෙනෙකු වාර්ෂික ගිවිසුම් සහ සංචාරක ගිවිසුම් අත්සන් නොකිරීමට තීරණය කර ඇති බවය.

ගෙවීම් සම්බන්ධයෙන් ඇති වී තිබෙන මතභේදයක් ඊට හේතුවී තිබේ.

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායම ජුනි 9 වනදා එංගලන්තය බලා පිටත්වීමට නියමිතය.

ගිවිසුම් අත්සන් කිරීමට ක්‍රීඩකයින් එකඟ නොවුවද ඉදිරි එංගලන්ත සංචාරය ඇතුළු අනෙකුත් සංචාරවලට ක්‍රීඩා කිරීමට ක්‍රීඩකයින් ඕනෑම අවස්ථාවක සූදානමින් සිටින බවත්, ක්‍රීඩකයින්ට වැටුප් ගෙවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රතික්ෂේප කළ විටක වුවත් ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කිරීමට එය බාධාවක් නොවන බවත් එම ක්‍රීඩකයින්ගේ මතය බවද එම ක්‍රීඩකයින් වෙනුවෙන් පත් කරන ලද නීතිඥවරයා පසුගියදා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *