ඉරෝන් රණසිංහ නොහොත් එස්.එෆ්. ලොක්කා අනුරාධපුර දහයියාගම දුම්රිය හරස් මාර්ගය ආසන්නයේදී ඝාතනය කිරීමට අදාළ ඝාතකයන් විසින් යොදාගත් අංක තහඩු රහිත යතුරුපැදිය මහියංගණය ප්රදේශයේ පදිංචි ගොවි තරුණයකුගෙන් සොරාගත් යතුරුපැදියක් බවට අනුරාධපුර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශය හා නොවිසඳුණු අපරාධ විමර්ශන අංශය තහවුරු කරගෙන තිබේ.
මෙම ඝාතනයෙන් පසුව එම යතුරුපැදිය ඉකුත් 08දා නොච්චියාගම, තිබ්බොටුවැව ප්රදේශයේ අතහැර දමා ගොස් තිබියදී පොලිසිය සොයාගෙන ඇති අතර, අනතුරුව යතුරු පැදිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී එය මහියංගණය ප්රදේශයේ දුප්පත් ගොවි තරුණයකු සතු එකක් බව පොලිසිය විසින් තහවුරු කරගෙන තිබේ.
ලීසිං වාරික ගෙවා දැමීමට නොහැකිව නිවෙසේ කාමරයක සඟවා තබා ඇති මෙම යතුරුපැදිය කිසියම් පිරිසක් එම කාමරයේ දොරගුළු කඩා දමා සොරාගෙන ගොස් තිබේ. කෙසේ වෙතත් අදාළ සිද්ධිය මෙම තරුණයා විසින් අනුමාන කර ඇත්තේ ලීසිං ආයතනය විසින් එම යතුරුපැදිය රැගෙන යන්නට ඇති බවයි.
ඉකුත් සති කිහිපය පුරාම යතුරුපැදිය අයිති තරුණයා ඥාති හිමිනමක් වැඩවසනා විහාරස්ථානයක සිට ඇති බවත්, ඝාතනය සිදුවන අවස්ථාවේද ඔහු මහියංගණයේ සිට ඇති බවටත් ඊට අදාළව සිදු කළ විමර්ශන වලදී පොලිසිය තහවුරු කරගෙන තිබේ.