කොළඹ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය 2026–2027 අධ්‍යයන සැසිය සඳහා ශ්‍රී ලාංකික ජාතිකයින් සඳහා පූර්ණ අරමුදල් සහිත ශිෂ්‍යත්ව 200 ක් ප්‍රකාශයට පත් කර තිබේ.
වෛද්‍ය/පරිපූරක වෛද්‍ය සහ නීති පාඨමාලා හැර, පුළුල් පරාසයක විෂය ක්ෂේත්‍ර හරහා කීර්තිමත් ඉන්දියානු ආයතන සහ විශ්ව විද්‍යාලවල අධ්‍යයන කටයුතු සඳහා ඉන්දියානු රජය විසින් ශිෂ්‍යත්ව පිරිනමනු ලැබේ.
ශිෂ්‍යත්ව යෝජනා ක්‍රම හතරක් යටතේ ලබා ගත හැකිය:
අ) නේරු අනුස්මරණ ශිෂ්‍යත්ව යෝජනා ක්‍රමය – ඉංජිනේරු, විද්‍යාව, ව්‍යාපාර, ආර්ථික විද්‍යාව, වාණිජ, මානව ශාස්ත්‍ර සහ කලා වැනි විෂයයන්හි උපාධි, පශ්චාත් උපාධි සහ ආචාර්ය උපාධි වැඩසටහන් ආවරණය කරයි.
ආ) මවුලානා අසාද් ශිෂ්‍යත්ව යෝජනා ක්‍රමය – ඉංජිනේරු, විද්‍යා සහ කෘෂිකර්ම විෂය ධාරාවන්ට මනාප ලබා දී ශාස්ත්‍රපති උපාධි වැඩසටහන් පිරිනමයි.
ඇ) රජීව් ගාන්ධි ශිෂ්‍යත්ව යෝජනා ක්‍රමය – තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයේ විශේෂයෙන් උපාධි අපේක්ෂක වැඩසටහන් සපයන අතර එය ඉංජිනේරු උපාධිය සහ තාක්ෂණ උපාධිය ලබා ගැනීමට මඟ පාදයි.
ඈ) ආචාර්ය ඒ.පී.ජේ. අබ්දුල් කලාම් පොදුරාජ්‍ය මණ්ඩලීය ශිෂ්‍යත්ව යෝජනා ක්‍රමය – ඉංජිනේරු, විද්‍යාව, ව්‍යාපාර, ආර්ථික විද්‍යාව, වාණිජ, මානව ශාස්ත්‍ර සහ කලා ඇතුළු විෂයයන්හි උපාධි අපේක්ෂක, පශ්චාත් උපාධි සහ ආචාර්ය උපාධි වැඩසටහන් ආවරණය කරයි.
සෑම ශිෂ්‍යත්ව යෝජනා ක්‍රමයක්ම පාඨමාලාවේ මුළු කාලය සඳහාම සම්පූර්ණ උපකාරක ගාස්තු, මාසික ආහාර දීමනාවක් සහ පොත් සහ ලිපි ද්‍රව්‍ය සඳහා වාර්ෂික ප්‍රදානයක් ආවරණය කරයි. ඊට අමතරව, තෝරාගත් අපේක්ෂකයින්ට ඉන්දියාවේ ළඟම ගමනාන්තයට ගුවන් ගමන් ගාස්තු, ඉන්දියාව තුළ අධ්‍යාපන චාරිකා සඳහා වාර්ෂික ප්‍රදානයක් සහ තවත් සහායක ප්රතිලාභ කිහිපයක් ලැබෙනු ඇත. අදාළ විශ්වවිද්‍යාල තුළ නේවාසිකාගාර පහසුකම් ද සපයනු ලැබේ.
ඉන්දියානු රජය ශ්‍රී ලංකාවේ අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර මෙම ශිෂ්‍යත්ව සඳහා දක්ෂ ශ්‍රී ලාංකික ජාතිකයින් තෝරා ගනී. වැඩිදුර තොරතුරු ඉදිරි දිනවලදී අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩවියෙන් ලබා ගත හැකිය.
සුදුසුකම් නිර්ණායක සහ තෝරා ගැනීමේ ක්‍රියා පටිපාටිය පිළිබඳ තොරතුරු සඳහා කොළඹ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය හෝ අධ්‍යාපන අමාත්‍යාංශය අමතන්නැයි උනන්දුවක් දක්වන අයදුම්කරුවන්ට සහ දෙමාපියන්ට උපදෙස් දෙනු ලැබේ.


