ඉන්දියාවට සුපිරි ජයක්

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ පාකිස්තාන කණ්ඩායමට එරෙහිව පැවැති තරගය ලකුණු 228කින් ජයගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.

කාසියේ වාසිය දිනූ පාකිස්තාන කණ්ඩායම පන්දුවට පහරදීමේ අවස්ථාව ඉන්දීය කණ්ඩායමට ලබාදුනි.

ඉන්දීය ආරම්භ පිතිකරුවන් වන නායක රෝහිත් ශර්මා සහ ශුබ්මන් ගිල් කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදෙමින් පළමු කඩුල්ල සඳහා ලකුණු 121ක සබඳතාවක් ගොඩනැගුවේය.

එහිදි ශුබ්මන් ගිල් ලකුණු 58ක් සහ රෝහිත් ශර්මා ලකුණු 56ක් ලබාගත්තේය.

කෙසේවෙතත් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 24යි එක් පන්දුවක් තුළ කඩුලු දෙකක් පමණක් බිඳවැටී ලකුණු 147ක් ලබා සිටියදි තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුණි.

ඒ අනුව, තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවීමත් සමග අතිරේක දිනය වූ ඊයේ පස්වරු 3 දක්වා තරගය කල්දමනු ලැබීය.

එහිදී ඊයේ දහවල් කොළඹ ආර් ප්‍රේමදාස පිටිය අවට වර්ෂාව පැවතීම හේතුවෙන් තරගය ආරම්භ කෙරුණේ පස්වරු 4.40ටය.

කෙසේ වෙතත් මේ හේතුවෙන් තරගයේ පන්දුවාර අඩුකිරීමක් සිදුවූයේ නැත.

තරගය ආරම්භ කරමින් ඊයේ දිනයේ පහරදුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 2ක් දැවී ලකුණු 356ක් රැස්කරගැනීමට සමත්විය.

එහිදී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් අගනා පිතිකරණයක නියැලුණු කෝලි සහ කේ එල් රාහුල් ශතකය බැගින් රැස්කිරීමට සමත්විය.

අගනා ඉනිමක් ක්‍රීඩා කළ කෝලි එක්දින පිටියේ ලකුණු 13,000 සීමාව පසුකර යාමට අද සමත්විය.

හයේ පහර 3ක් සහ හතරේ පහර 9ක් සමග පන්දු 94කදී ගොඩනැගූ ඔහුගේ ඉනිමට ලකුණු 122ක් ඇතුළත් විය.

හයේ පහර 2ක් සහ හතරේ පහර 12ක් සමග විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ කේ එල් රාහුල් පන්දු 106කදී ලකුණු 111ක් රැස්කරගැනීමට සමත්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *