ඇඳිරිනීතිය ඉවත් කළ පසු රෝහල්වල ළදරු සහ ළමා සායන පෙර තිබූ පරිදිම

කොවිඩ් 19 වෛරස් තත්වය පැතිරයාම පාලනය කිරීම සඳහා පනවා ඇති ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු රෝහල්වල ළදරු සහ ළමා සායන කටයුතු නැවතත් ඇරඹීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.

කෙසේ වෙතත් රෝහල්වල සායන කටයුතු ආරම්භ කළත් පවතින තත්වය මත එම කටයුතු පවත්වා ගෙන යාමේදී විවිධ සීමා මෙන්ම උපදෙස්ද පැනවීමට කටයුතු කර ඇති බවත් ඊට අදාළව චක්‍ර ලේඛයක් තමන් විසින් ඊයේ (17) නිකුත් කළ බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.

රෝහල්වල ළමා රෝග සායන විශේෂයෙන්ම ආරම්භ කරන ලෙසට අදාළ රෝහල් සඳහා උපදෙස් ලබාදී ඇති බවත් සමාජ දුරස්ථභාවය පවත්වා ගෙන යාම අවශ්‍ය හෙයින් තදබදය අවම කර ගැනීම සඳහා වැඩි සායන ගණනක් පවත්වන ලෙසටත් තමන් වෛද්‍යවරුන් ගෙන් ඉල්ලා සිටින බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා වැඩි දුරටත් ප්‍රකාශ කරන ලදී. එමෙන්ම රෝහල් වලින් බාහිරව වැඩි වශයෙන් පුද්ගලයින් සිටින ස්ථාන තෝරා ගෙන හැකිනම් එම ස්ථානවලට ගොස් වෛද්‍ය සායන පැවැත්වීම සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමුවී ඇති බවත් පැවසීය.

තවදුරටත් ඔහු අවධාරණය කර සිටියේ රෝහල් තුළ අනවශ්‍ය තදබදයක් ඇති වීම වලක්වාලීමට ළමා රෝග සායන සඳහා එන විට හැකිනම් දරුවා සමග මව පමණක් රෝහලට පැමිණෙන ලෙසටයි.

අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව ප්‍රකාශ කළේ කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ඊයේ (17) පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *