අරාබි මුහුදේදී ඉන්දියානු සහ පාකිස්තාන නාවික හමුදා නෞකා දෙකක් ගැටීම සම්බන්ධයෙන් විරෝධය පළ කිරීම සඳහා ඉන්දියාව නවදිල්ලියේ සිටින පාකිස්තානයේ ඉහළම රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියා කැඳවා තිබේ.
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය බදාදා සඳහන් කළේ පෙර දින ජාත්‍යන්තර මුහුදු සීමාවේදී පාකිස්තාන නාවික හමුදා නෞකාවක් ඉන්දීය නාවික හමුදා යුද නෞකාවක ගැටී ඇති බවයි.
මේ සම්බන්ධයෙන් නවදිල්ලියේ පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලයේ වැඩබලන තානාපතිවරයා වෙත විරෝධය පළ කර ඇති බවද එම අමාත්‍යාංශය සඳහන් කළේය.
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය චෝදනා කළේ ඉන්දීය නාවික හමුදා ඒකකයක් සමඟ ගැටීම සඳහා පාකිස්තාන නාවික හමුදාව “පිළිගත නොහැකි සහ වෘත්තීය නොවන ආකාරයෙන්” කටයුතු කර ඇති බවයි.
ජාත්‍යන්තර මුහුදු සීමාවේදී දෙරටේ නාවික හමුදා නෞකා සහ සබ්මැරීන අතර අවම වශයෙන් නාවික සැතපුම් තුනක දුරක් පවත්වාගත යුතු බවට 1991දී දෙරට අතර ඇති කරගත් ගිවිසුමක් මෙම සිද්ධියෙන් උල්ලංඝනය වී ඇති බවද ඉන්දියාව සඳහන් කළේය.
මෙවැනි සිදුවීම් යළි ඇතිවීම වළක්වා ගැනීම සඳහා දෙරට අතර පවතින ගිවිසුම්වලට හමුදා ඒකක ගරු කිරීමේ අවශ්‍යතාව තම රජයට දැනුම් දෙන ලෙස පාකිස්තාන වැඩබලන තානාපතිවරයාගෙන් ඉල්ලා ඇති බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසීය.
එමෙන්ම ඉස්ලාමාබාද්හි සිටින ඉන්දීය වැඩබලන තානාපතිවරයාටද පාකිස්තාන විදේශ අමාත්‍යාංශය වෙත ඒ හා සමාන විරෝධයක් ඉදිරිපත් කරන ලෙස උපදෙස් ලබාදී තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පාකිස්තාන රජයෙන් වහාම ප්‍රතිචාරයක් ලැබී නොමැත.
පසුගිය වසරේ දෙරට අතර දින හතරක් පුරා පැවති සෘජු ගැටුමෙන් පසුව, න්‍යෂ්ටික අවි සතු ඉන්දියාව සහ පාකිස්තානය අතර සෘජු හමුදා ආතතියක් ඇති වූ පළමු අවස්ථාව මෙය බව වාර්තා වේ.
2019 වසරේදී නවදිල්ලිය ඉන්දීය පාලනය යටතේ පවතින කාශ්මීරයට ලබාදී තිබූ විශේෂ තත්ත්වය අහෝසි කිරීමෙන් පසුව දෙරට සිය රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පහත හෙළූ අතර, එතැන් සිට දෙරටේ අගනුවරවල තානාපතිවරුන් පත් කර නොමැත.
1947දී බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස ලැබීමෙන් පසුව ඉන්දියාව සහ පාකිස්තානය අතර ප්‍රධාන යුද්ධ තුනක් සිදුව ඇති අතර, ඉන් යුද්ධ දෙකක්ම කාශ්මීරයේ තත්ත්වය සම්බන්ධයෙන් පැවතිණි.


