අනාරක්ෂිත ලෙස යතුරුපැදි ධාවනයේ යෙදුණු 20ක් කොටුවෙයි

බම්බලපිටිය ගාලු පාර හා ඩුප්ලිකේෂන් පාර යන ප්‍රදේශවල විනෝදාස්වාදය සඳහා නොසැලකිලිමත් ලෙස හා ඉතා අනතුරුදායක ලෙස යතුරුපැදි ධාවනයේ නිරත වූ 20 දෙනෙකු යතුරුපැදි සමඟ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ, සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවය.

එක් දිශාවකට පමණක් දිවෙන මෙම මාර්ගයේ විශාල ශබ්දයක් සමඟ අධික වේගයෙන් හා ප්‍රතිවිරුද්ධ දිශාවට පවා නොහික්මුණු ආකාරයෙන් යතුරුපැදි ධාවනය කරන බවට ජනතාවගෙන් පොලීසියට පැමිණිලි ද ලැබී තිබුණි.

මෙම පිරිස් සෙසු රියදුරන්ට ද අවදානමක් ගෙනදෙමින් ඉදිරියට පැමිණෙන වාහන අතරින් අනතුරුදායක ලෙස යතුරුපැදි ධාවනය කරන අතර පසුපස රෝදයෙන් පමණක් ධාවනය කරමින් මාර්ගය පුරා ගමන් කරන බවට පැමිණිලි ලැබී ඇත.

ඒ අනුව ක්‍රියාත්මක වූ බම්බලපිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් මෙම විශේෂ වැටලීම සිදුකර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ මෙම පිරිසට විරුද්ධව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *