මන්නා කල්ලියේ ‘බඩා’ සියල්ල හෙළිකරයි

පුද්ගලයින්ට මන්නා පෙන්වා දණ ගස්වා රන් භාණ්ඩ, මුදල් සහ යතුරුපැදි කොල්ලකන කල්ලියේ අත්අඩංගුවට ගත් පැදිකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී රුපියල් කෝටියකට ආසන්න වටිනාකමින් යුත් රන් භාණ්ඩ තොගයක් සොයාගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු කඹුරුගමුව විදානගමගේ ජනක සංජීව නොහොත් “බඩා” නැමැති අයෙකි.

ඔහු මොරටුව ලක්ෂපතිය ප්‍රදේශයේදී පසුගියදා අත්අඩංගුවට පත්විය.

මොරගහහේන, කැස්බෑව, පිළියන්දල ඇතුළු ප්‍රදේශ රැසකදී මන්නා පෙන්වා ඔවුන් මෙලෙස රන් භාණ්ඩ සහ යතුරුපැදි කොල්ලකා ඇති බවට වාර්තාවිය.

දින හතක රැඳවුම් නියෝග මත පොලීසිය ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී හෙළිවූ තොරතුරු මත රුපියල් කෝටියකට ආසන්න රන් භාණ්ඩ තොගයක් සහ කොල්ලකෑම් සඳහා භාවිත කළ තියුණු ආයුධ කිහිපයක්ද සොයාගැනීමට මොරටුව මූලස්ථාන පොලීසිය සමත්ව ඇත.

විවිධ ප්‍රමාණවල බරින් යුත් රන්මාල 20 කට ආසන්න ප්‍රමාණයක්ද ඊට අයත් වෙයි.

ඒවා සොයාගෙන ඇත්තේ රාවතාවත්ත, කටුබැද්ද, සොයිසාපුර, මොරටුව ආදී ප්‍රදේශවල රන්භාණ්ඩ උකස් ගන්නා මධ්‍යස්ථානවලට උකස් තබා තිබියදීය.

තියුණු ආයුධ සොයාගෙන තිබුණේ කොල්ල කල්ලියේ ප්‍රධාන සැකකරු ලෙස සැලකෙන මන්නා සමන්ත නමැත්තාගේ ඥාතියකුට අයත් ලක්ෂපතියේ නිවසක සඟවා තිබියදීය.

අත්අඩංගුවට ගත් සැකකාර පැදිකරු සමග එක්ව කොල්ලකෑම් සිදු කර ඇති “මන්නා සමන්ත” නැමැත්තා ප්‍රදේශය අතහැර පළාගොස් ඇති අතර ඔහු සොයා විමර්ශන සිදුකරන බවද පොලීසිය සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *