Wednesday, 4 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

සුඛෝපභෝගී වාහන අර්බුදයක පැටලුණු කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරිය හිරේට

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

සුඛෝපභෝගී මෝටර් රථයක් මිලදී ගැනීමට සහ එහි මාසික ලීසිං වාරික ගෙවීමට මුදල් උපයාගත් ආකාරය පිළිබඳව සිදුකෙරෙන විශේෂ විමර්ශනයකට අදාළව, කොටවිල පොලිස් ස්ථානයේ පරිපාලන අංශයේ ස්ථානාධිපතිනිය ලෙස කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක (CIP) වරුණි බෝගහවත්ත මහත්මිය ලබන සිකුරාදා (06) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාතර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මඟින් ඇයව අත්අඩංගුවට ගෙන ඊයේ (03) මාතර මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කෙරිණි.

ඇය සන්තකයේ තිබූ සුඛෝපභෝගී මෝටර් රථයක්ද පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ භාරයට ගෙන තිබිණි.

කෝටියක සමූපකාර වංචාව සහ ලීසිං වාරික

විමර්ශන නිලධාරීන් අනාවරණය කරන අන්දමට, මාතර සමූපකාර සමිතියේ සිදුවූ බව කියන රුපියල් බිලියනයකට (රුපියල් කෝටි 100කට) අධික දැවැන්ත මූල්‍ය වංචාවකට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකු විසින් මෙම පොලිස් පරීක්ෂකවරියගේ මෝටර් රථයේ ලීසිං වාරික ගෙවා ඇති බවට තොරතුරු හෙළිවී ඇත.

විශේෂයෙන්ම, වරුණි බෝගහවත්ත මහත්මියගේ මාසික පොලිස් වැටුප රුපියල් 140,000ක් පමණක් වන පසුබිමක, ඇය භාවිත කළ සුඛෝපභෝගී මෝටර් රථයේ මාසික ලීසිං වාරිකය පමණක් රුපියල් 132,000ක් බවද රහස් පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

අදාළ මෝටර් රථය මිලදී ගැනීමට සහ එහි ලීසිං වාරික අඛණ්ඩව පියවීමට යොදාගත් මුදල් අයථා හා නීතිවිරෝධී මාර්ගවලින් උපයාගත් ඒවාද යන්න තහවුරු කරගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරයි.

ඔබේ අදහස