වෙළදපොලේ පොල්තෙල් වල ප්‍රමිතිය ගැන සහතිකයක් ලබා දිය යුතුයි – පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය

පිළිකා කාරක රසායනික ද්‍රව්‍ය සහිත පොල්තෙල් තොගයක් මෙරටට ආනයනය කිරීම හේතුවෙන් වෙළදපොලේ පවතින පොල්තෙල්වල ප්‍රමිතිය සම්බන්ධයෙන් වගකිවයුතු ආයතන සහතිකයක් ලබාදිය යුතු බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය පවසනවා. මේ සම්බන්ධයෙන් එම සංවිධානයේ සභාපති රංජිත් විතානගේ මහතා මෙසේ පවසා සිටියේය.

මේ වනවිට රටපුරා තියෙන පොල්තෙල් ගැන ගැටලුවක් තියෙනවා පාරිභෝගිකයින්ට. පාරිභෝගිකයින් වෙළදපොලට ගිහින් යම්කිසි භාණ්ඩයක් ගන්නේ එහි ප්‍රමිතිය හා ගුණාත්මකභාවය ගැන විශ්වාස කරලා. ඒ විශ්වාසය තහවුරු කළයුතු වන්නේ රජය විසින්. භාණ්ඩයක් ලබා ගැනීමේදී රජයට යම් කිසි බදු මුදලක් හිමි වෙනවා. ඒ බදු මුදල ඇතුලේ තමයි පාරිභෝගික සේවා අධිකාරිය, සෞඛ්‍ය අමාත්‍යාංශය, ප්‍රමිති ආයතනය වැනි ආයතන නඩත්තු වෙන්නේ. එතකොට මේ ආයනත වල තියෙන වගකීම තමයි එවැනි ගුණාත්මක නොවන භාණ්ඩ ගැන සොයා බලා ඔවුන්ට එරෙහිව නීතය ක්‍රියාත්මක කිරීම. මෙවැනි ප්‍රමිතියෙන් තොර පොල්තෙල් බහාලුම් කිහිපයක් මෙරටට ආනයනය කර ඇති නිසා වෙළදපොලේ ඇති පොල්තෙල් නැයැදි පරීක්ෂාවක් සිදු කර ඒවායේ ගුණ අගුණ වගේම මේ කියන ආකාරයට පිළිකා කාරක රසායනිකයන් පවතිනවානම් මෙම පොල්තෙල් ජාවාරමට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගෙන පාරිභෝගික සුරක්ෂිතතාව තහවුරු කරන්නැයි කියා අපි රජයෙන් ඉල්ලා සිටිනවා.” යැයි පැවසීය.

කෙසේ වෙතත් පාරිභෝගික කටයුතු හා තොරතුරු අධ්‍යක්‍ෂ අසේල බණ්ඩාර මහතා පැවසුවේ මෙරටට ආනයනය කර ඇති පිළිකා කාරක රසායනික ද්‍රව්‍ය සහිත පොල්තෙල් වෙළද පොලට මුදාහැර නොමැති බව සිය ආයතනය සිදුකළ පරීක්‍ෂාවලදී අනාවරණ වූ බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *