වත්මන් කොවිඩ් ව්‍යාප්තිය සම්බන්ධයෙන් රජයෙන් විශේෂ නිවේදනයක්

රට තුළ වර්තමානයේ උද්ගතවි තිබෙන කොවිඩ් ව්‍යාප්තිය සම්බන්ධයෙන් රජය විසින් ඊයේ (14) රාත්‍රියේ නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනය පහත පරිදි වේ.

කන්දකාඩු මත්ද්‍රව්‍ය නිවාරණ ප්‍රතිකාර මධ්‍යස්ථානය කේන්ද්‍ර කොටගෙන රටතුළ කොවිඩ් 19 ආසාදිතයින් වාර්තා වීම ආරම්භ වීමත් සමගම එම වෛරසය රටතුළ ව්‍යාප්තවීම වීම වැළැක්වීම සඳහා ගතයුතු සියලු ක්‍රියාමාර්ග උපරිම වශයෙන් ක්‍රියාත්මක කිරීමට මේ වන විට රජය විසින් පියවර ගෙන තිබේ. ඒ අනුව, අදාළ පරීක්ෂණ කටයුතු සිදුකිරීම, ආසාදිතයින් හඳුනාගැනීම, ආශ්‍රිතයින් හඳුනා ගැනීම හා ඔවුන් නිරෝධායනයට යොමු කිරීම යන සියලු අදාළ ක්‍රියාමාර්ගයන් මේ හා සම්බන්ධිත ප්‍රදේශයන් හා ස්ථාන ආවරණය වන පරිදි ඉතාමත් කඩිනමින් ක්‍රියාත්මක කර ඇත.

මේ අයුරින්, අදාළ ස්පර්ශකයින් හඳුනාගෙන පරීක්ෂණ හා නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමු කිරීමේ කටයුතු ක්‍රියාත්මක කරන අවස්ථාවන්හිදී ඔවුන් නියත වශයෙන්ම කොවිඩ් 19 ආසාදිතයින් ලෙස හඳුන්වමින් සාවද්‍ය ප්‍රචාරයන් පැතිරවීමට ඇතැම් පිරිස් කටයුතු කරන බව පෙනී ගොස් ඇත. තවද, මෙම තත්ත්වය නිසා විවිධ ආයතන වසා දැමීමට කටයුතු කරන බව ඇතුලු විවිධ අසත්‍ය තොරතුරු සමාජගත කරන ආකාරයද දැකිය හැකිය.

එමෙන්ම, මෙම තත්ත්වය මත රජය විසින් නිවාඩු දින ප්‍රකාශයට පත්කිරීමට හා ඇඳිරිනීතිය පැණවීමට කටයුතු කරන බවට වන විවිධ අසත්‍ය තොරතුරු ඇතැම් පාර්ශ්වයන් විසින් අඛණ්ඩව සමාජගත කරමින් සිටින බවද නිරීක්ෂණය වේ. නමුත්, මේ දක්වා එවැනි කිසිදු තීරණයක් ගෙන නොමැති බව රජය විසින් අවධාරණය කරයි.

ඒ අනුව, මෙවැනි සාවද්‍ය තොරතුරු සමාජගත කිරීමේ අරමුණ වන්නේ ජනතාව නොමග යවමින් සමාජය තුළ අනවශ්‍ය කැළඹීම් ඇතිකිරීම බවද පැහැදිළි වේ. මේ අයුරින් සාවද්‍ය ප්‍රචාරයන් සමාජගත කරන පිරිස් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණ පවත්වන මෙන් රජය අදාළ අංශ වෙත උපදෙස් ලබාදී තිබේ.

මෙහිදී, යම් පුද්ගලයකු කොවිඩ් 19 වෛරසය ආසාදිතයකු බවට තහවුරු වුවහොත් ඒ බව මෙන්ම මෙම තත්ත්වය සම්බන්ධයෙන් රජය විසින් ගනු ලබන ක්‍රියාමාර්ග හා සමාජය දැනුවත් විය යුතු සියලු කරුණු පිළිබඳ නිල තොරතුරු ක්ෂණිකව මහජනතාව වෙත දැනුම් දීමට රජය වෙනුවෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කටයුතු කරනු ලැබේ.

එබැවින් අසත්‍ය හා නොමග යවන සුළු ප්‍රචාරයන්ට නොරැවටී මෙම අවස්ථාවේ වඩාත් අවබෝධයෙන් කටයුතු කරන මෙන් හා විශේෂයෙන්ම සෞඛ්‍ය අංශවලින් දැනුවත් කර ඇති සියලු සෞඛ්‍යාරක්ෂණ උපක්‍රම දැඩිව අනුගමනය කරමින් ආරක්ෂිතව හා විචක්ෂණශීලීව කටයුතු කරන මෙන් රජය විසින් ජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *