බෙංගාල බොක්කේ ගැඹුරු පීඩන පද්ධතිය දුර්වල වෙයි: ශ්‍රී ලංකාවේ කාලගුණ බලපෑම ක්‍රමයෙන් අඩුවෙයි

බෙංගාල බොක්කේ පැවති ගැඹුරු පීඩන පද්ධතිය මේ වනවිට පීඩන අවපාතයක් දක්වා දුර්වල වෙමින් පවතින බැවින්, එහි බලපෑම හේතුවෙන් ශ්‍රී ලංකාවේ කාලගුණයට ඇතිවන බලපෑම ඊයේ (25) සිට ක්‍රමයෙන් අඩුවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව අද දිනයේ බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර, එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ඉක්මවූ තරමක් තද වැසි ඇතිවීමේ හැකියාව පවතී.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්, උතුරු මැද සහ වයඹ පළාත්වල මෙන්ම ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවල විටින් විට පැයට කිලෝමීටර් 30ත් 40ත් අතර වේගයකින් තරමක් තද සුළං ඇතිවිය හැකි බවද දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී ඇතිවිය හැකි තාවකාලික ප්‍රාදේශීය තද සුළං සහ අකුණු හේතුවෙන් සිදුවිය හැකි හානි අවම කර ගැනීම සඳහා අවශ්‍ය පූර්වාරක්ෂක පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *