2030 තිරසර සංවර්ධන ඉලක්ක වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර තිරසර සංවර්ධන ඉලක්ක ධජය ඔසවයි

ජාත්‍යන්තර තිරසර සංවර්ධන ඉලක්ක (SDG) ධජ දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති කාර්යාලය, එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ශ්‍රී ලංකා තිරසර සංවර්ධන සභාව එක්ව ධජ එසවීමේ උත්සවයක් කොළඹදී  පැවැත්වීය.

ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති වයිබේ ද බෝවර්, ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක්-අන්ද්‍රේ ෆ්‍රාන්ෂ් සහ ජනාධිපති ලේකම් මෙන්ම ශ්‍රී ලංකා තිරසර සංවර්ධන සභාවේ සභාපති ආචාර්ය නන්දික සනත් කුමනායක යන මහත්වරුන් එක්ව නෙදර්ලන්ත තානාපති කාර්යාල පරිශ්‍රයේදී SDG ධජය ඔසවනු ලැබීය.

ශ්‍රී ලංකාවේ තිරසර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා කටයුතු කරන කොළඹ පිහිටි විදේශ දූත මණ්ඩලවල රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් සහ සිවිල් සමාජ නියෝජිතයන් පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

උත්සවය අමතමින් තානාපති වයිබේ ද බෝවර් මහතා 2030 වන විට තිරසර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා අඛණ්ඩව කටයුතු කිරීමේ වැදගත්කම අවධාරණය කළේය.

“SDG ධජය එකට ඔසවා තැබීමෙන් තිරසර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා අඛණ්ඩව කටයුතු කිරීමේ දැවැන්ත වැදගත්කම පිළිබඳ අවධානය යොමු කිරීමට අපට හැකි වෙනවා,” යනුවෙන් ඔහු පැවසීය.

2030 වන විට තිරසර සංවර්ධන ඉලක්ක ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම පෙන්වා දීම සඳහා ලොව පුරා රටවල ගොඩනැගිලි, සමාගම්, අධ්‍යාපන ආයතන, පුස්තකාල සහ පළාත් පාලන ආයතනවල SDG ධජය ඔසවා තබන බවද තානාපතිවරයා සඳහන් කළේය.

මේ අතර, බහුපාර්ශ්වික සහයෝගීතාව අභියෝගයට ලක්ව ඇති වත්මන් පසුබිම තුළ තිරසර සංවර්ධන රාමුවේ වැදගත්කම එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක්-අන්ද්‍රේ ෆ්‍රාන්ෂ් මහතා අවධාරණය කළේය.

“බහුපාර්ශ්විකවාදය තර්ජනයට ලක්ව ඇති අවස්ථාවක, තිරසර සංවර්ධනය වැනි පොදු රාමුවක් අවශ්‍ය වන්නේ අඩුවෙන් නොව, වැඩි වශයෙනුයි,” යනුවෙන් ඔහු පැවසීය.

එවැනි පොදු රාමුවක් හරහා රජයට, සිවිල් සමාජයට, පෞද්ගලික අංශයට සහ සංවර්ධන හවුල්කරුවන්ට එකම මිනුම් දර්ශක භාවිත කරමින් ප්‍රගතිය විනිවිදභාවයෙන් යුතුව අධීක්ෂණය කිරීමට හැකි වන බවද ඔහු සඳහන් කළේය.

මැතිවරණ චක්‍රවලින් ඔබ්බට දිගුකාලීන සැලසුම් සකස් කිරීමටද එම රාමුව සහාය වන අතර, රටේ මූල්‍ය අවකාශය සීමා වී ඇති අවස්ථාවක දේශීය මට්ටමේ ප්‍රයත්නයන් ජාත්‍යන්තර සහයෝගය සමඟ සම්බන්ධ කිරීමටද එය උපකාරී වන බව ෆ්‍රාන්ෂ් මහතා පැවසීය.

ධජ එසවීමේ උත්සවයෙන් අනතුරුව රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාවේ සාමාජිකයන් සහ සිවිල් සමාජ නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් 2030 වන විට තිරසර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය පිළිබඳ සාකච්ඡාවක්ද පැවැත්විණි.

ශ්‍රී ලංකාව මේ දක්වා ලබා ඇති ප්‍රගතිය, තවදුරටත් විසඳිය යුතු අභියෝග සහ 2030 න්‍යාය පත්‍රය යටතේ පවතින අවස්ථා පිළිබඳව එහිදී අවධානය යොමු කෙරිණි.

2030 න්‍යාය පත්‍රය යනු 2015 සැප්තැම්බර් මාසයේදී එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් 193ම විසින් සම්මත කරගත් ගෝලීය ක්‍රියාකාරී සැලැස්ම වන අතර, එහි ප්‍රධාන අරමුණ තිරසර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීමයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *