නියමිත අවසන් දිනය වූ 2026 ජුනි 30 වැනිදායින් පසුව, එහෙත් 2026 අගෝස්තු 31 වැනිදා හෝ ඊට පෙර වාර්ෂික හෝ විශ්රාම ගැනීමෙන් පසු වත්කම් හා බැරකම් ප්රකාශ ඉදිරිපත් කළ පුද්ගලයන්ට පරිපාලන දඩ පැනවීමට කටයුතු කරන බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.
2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතේ 90 වැනි වගන්තිය යටතේ මෙම පරිපාලන දඩ පැනවීමට නියමිත අතර, ප්රකාශය ඉදිරිපත් කිරීම ප්රමාද වූ දින ගණන අනුව දඩය තීරණය කරන බව කොමිෂන් සභාව සඳහන් කරයි.
කෙසේ වෙතත්, දඩය පැනවීමට පෙර අදාළ පුද්ගලයන්ට එම දඩය පැනවිය යුතු නොවන්නේ මන්දැයි කරුණු දැක්වීමට අවස්ථාව ලබාදීමට කොමිෂන් සභාව තීරණය කර තිබේ.
පනතේ 80(1) වගන්තියට අනුව, ප්රකාශය ප්රමාද වී ඉදිරිපත් කළ පුද්ගලයන් එම ප්රමාදයට හේතු ලිඛිතව ඉදිරිපත් කළ යුතු අතර, හැකි නම් එම හේතු සනාථ කරන ලේඛනමය සාක්ෂිද ඉදිරිපත් කළ යුතුය.
අදාළ කරුණු සහ හේතු 2026 සැප්තැම්බර් 30 වැනිදා හෝ ඊට පෙර කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කළ යුතු අතර, එහිදී අදාළ පුද්ගලයාගේ ජාතික හැඳුනුම්පත් අංකය සහ දුරකථන අංකයද සඳහන් කළ යුතුය.
නියමිත දිනයට පෙර ප්රමාදයට හේතු ඉදිරිපත් කිරීමට අපොහොසත් වුවහොත්, එය සාධාරණ හේතුවක් ඉදිරිපත් කිරීමට අපොහොසත් වීමක් ලෙස සලකා පරිපාලන දඩය පැනවීමට කටයුතු කරන බව කොමිෂන් සභාව සඳහන් කරයි.
කරුණු ඉදිරිපත් කිරීමේදී “Reasons for the delay” යන විෂයය පැහැදිලිව සඳහන් කළ යුතු බවද කොමිෂන් සභාව දැනුම් දී තිබේ.
තැපැල් මඟින් කරුණු ඉදිරිපත් කරන විට එම විෂයය ලිපි කවරයේ ඉහළ වම් කෙළවරේ සඳහන් කළ යුතු අතර, විද්යුත් තැපෑල මඟින් ඉදිරිපත් කරන විට එය විද්යුත් තැපෑලේ විෂයය ලෙස සඳහන් කළ යුතුය.
කරුණු ඉදිරිපත් කළ යුතු ලිපිනය
අධ්යක්ෂ,
වත්කම් හා බැරකම් ප්රකාශ අංශය,
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව,
අංක 36, මාලලසේකර මාවත,
කොළඹ 07.
විද්යුත් තැපෑල: ald@ciaboc.gov.lk
දුරකථන/ෆැක්ස්: 0112587287
WhatsApp: 076701195


