රටවල් සම්බන්ධයෙන් පනවා ඇති මානව හිමිකම් විධාන සදාකාලික ක්‍රියාමාර්ග ලෙස නොසැලකිය යුතු බවත්, ඒවා වරින් වර සමාලෝචනය කරමින් ජාතික ක්‍රියාවලීන්හි ප්‍රගතියක් පෙන්නුම් කරන අවස්ථාවලදී එම විධාන අවසන් කිරීම සඳහා පැහැදිලි මාර්ගයක් සකස් කළ යුතු බවත් ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් මහතාගෙන් ඉල්ලා තිබේ.
ජිනීවාහිදී අඟහරුවාදා (08) පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 63 වැනි සැසිවාරයේ න්‍යාය පත්‍ර අංක 2 යටතේ පැවති පොදු විවාදයට එක්වෙමින්, ජිනීවාහි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත තානාපති සුමිත් දසනායක මහතා මේ බව ප්‍රකාශ කළේය.
සන්නද්ධ ගැටුම්, ජනතාව අවතැන්වීම් සහ මානුෂීය අර්බුද ඇතුළු ලෝකයේ වඩාත්ම හදිසි හා බරපතළ අභියෝග සඳහා මානව හිමිකම් කවුන්සිලයේ සම්පත් යොමු කළ යුතු බවද තානාපතිවරයා අවධාරණය කළේය.
මහ කොමසාරිස්වරයා අමතමින් තානාපති දසනායක මහතා පැවසුවේ, සියලුම විධාන, විශේෂයෙන් රටවල් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන විධාන, නිශ්චිත අරමුණු සහ මැනිය හැකි ප්‍රතිඵල මත පදනම්ව වරින් වර සමාලෝචනයට ලක් කළ යුතු බවයි.
එකිනෙකට සමාන හෝ අතිච්ඡාදනය වන විධාන පවතින අවස්ථාවලදී ඒවා ඒකාබද්ධ කිරීම හෝ වඩාත් කාර්යක්ෂම ආකාරයකට සකස් කිරීම සඳහා කවුන්සිලය ක්‍රියා කළ යුතු බවද ඔහු සඳහන් කළේය.
සුදුසු අවස්ථාවලදී රටවල් සම්බන්ධ යෝජනාවලට විධාන අවසන් වන කාලසීමාවක් සඳහන් කරන වගන්ති සහ ක්‍රමානුකූලව ඒවා අවසන් කිරීමේ විධිවිධාන ඇතුළත් කළ යුතු බවද තානාපතිවරයා අවධාරණය කළේය.
“මහ කොමසාරිස්තුමනි, ජාතික ක්‍රියාවලීන්, සංවාදය, සහයෝගීතාව සහ තාක්ෂණික සහාය හරහා යම් රටක් ප්‍රගතියක් පෙන්නුම් කරන විට, එම විධානය අවසන් කිරීම සඳහා විශ්වසනීය මාර්ගයක් තිබිය යුතුයි,” යනුවෙන් ඔහු පැවසීය.
විධාන තවදුරටත් ක්‍රියාත්මක කිරීම සාධාරණීකරණය කළ යුත්තේ පැහැදිලි අවශ්‍යතාවක් සහ ලබා ඇති ප්‍රතිඵල මත බවත්, ආයතනික ක්‍රියාවලියක් දිගින් දිගටම පවත්වාගෙන යාම සඳහා පමණක් එය සිදු නොවිය යුතු බවත් තානාපති දසනායක මහතා සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රියාවලීන් තුළින් සියලු පුරවැසියන්ගේ මානව හිමිකම් ආරක්ෂා කිරීම සහ ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් ප්‍රගතියක් පෙන්නුම් කර ඇති බවත්, එම ප්‍රගතිය මානව හිමිකම් කවුන්සිලය විසින් පිළිගත යුතු බවත් ඔහු පැවසීය.
එම විධාන නිශ්චිත අවසානයක් නොමැති විවෘත ක්‍රියාමාර්ග බවට පත් නොවී, අත්කරගෙන ඇති ප්‍රතිඵල සහ වර්ධනය වන තත්ත්වයන් පිළිබිඹු කළ යුතු බවද ඔහු අවධාරණය කළේය.
විවාදය අතරතුරදී ශ්‍රී ලංකාව සමඟ සමාන අදහස් දරන රටවල් කිහිපයක්ද සියලු පුරවැසියන් සඳහා මානව හිමිකම් ආරක්ෂාව ඉදිරියට ගෙන යාම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය අගය කර තිබේ.
එමඟින් මානව හිමිකම් කවුන්සිලය තුළ වඩාත් සමබර සහ සාධනීය ප්‍රවේශයක් අවශ්‍ය බවට ශ්‍රී ලංකාව ඉදිරිපත් කළ ඉල්ලීම තවදුරටත් ශක්තිමත් වී ඇත.
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් වූ ලිඛිත යාවත්කාලීන වාර්තාව ඊයේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කර ඇති අතර, එම අවස්ථාවට මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් මහතාද සහභාගී වී තිබේ.
ජිනීවාහි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත තානාපති සුමිත් දසනායක මහතාගේ සම්පූර්ණ ප්‍රකාශය
“මැතිනියනි, උප සභාපතිතුමියනි,
මහ කොමසාරිස්තුමනි,
මානව හිමිකම් කවුන්සිලයට පුළුල් මෙන්ම අභියෝගාත්මක ගෝලීය වගකීමක් පැවරී තිබෙනවා. සන්නද්ධ ගැටුම්, මානුෂීය අර්බුද, ජනතාව අවතැන්වීම් සහ අනෙකුත් ගෝලීය අභියෝග ඇතුළු බරපතළ හා හදිසි මානව හිමිකම් තත්ත්වයන් රැසකට ජාත්‍යන්තර ප්‍රජාව මුහුණ දෙමින් සිටින අවස්ථාවක, කවුන්සිලයේ කටයුතු සහ සම්පත් වඩාත් හදිසි තත්ත්වයන් වෙත යොමු වන බව සහතික කළ යුතුයි.
එක්සත් ජාතීන්ගේ පද්ධතිය පුරා කාර්යක්ෂමතාව, ප්‍රමුඛතා තීරණය කිරීම සහ සම්පත් ඵලදායී ලෙස භාවිත කිරීම පිළිබඳව නැවත සලකා බැලීමට UN80 ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය අවස්ථාව සලසා දෙනවා.
මෙම පසුබිම තුළ, කිසිදු කවුන්සිල විධානයක් සදාකාලික දෙයක් ලෙස සැලකිය යුතු නැහැ. සියලු විධාන, විශේෂයෙන් රටවල් සම්බන්ධ විධාන, නිශ්චිත අරමුණු සහ මැනිය හැකි ප්‍රතිඵල මත පදනම්ව වරින් වර සමාලෝචනය කළ යුතුයි. විධාන අතර අතිච්ඡාදනයක් පවතින විට, ඒවා ඒකාබද්ධ කිරීම හෝ වඩාත් කාර්යක්ෂම ලෙස සකස් කිරීම සඳහා කවුන්සිලය ක්‍රියාශීලීව කටයුතු කළ යුතුයි.
සුදුසු අවස්ථාවලදී රටවල් සම්බන්ධ යෝජනාවලට අවසන් කාලසීමා සහ ක්‍රමානුකූලව විධාන අවසන් කිරීමේ විධිවිධාන ඇතුළත් කළ යුතුයි.
මහ කොමසාරිස්තුමනි,
ජාතික ක්‍රියාවලීන්, සංවාදය, සහයෝගීතාව සහ තාක්ෂණික සහාය හරහා යම් රටක් ප්‍රගතියක් පෙන්නුම් කරන විට, එම විධානය අවසන් කිරීම සඳහා විශ්වසනීය මාර්ගයක් තිබිය යුතුයි.
විධාන තවදුරටත් පවත්වාගෙන යාම සාධාරණීකරණය කළ යුත්තේ පැහැදිලි අවශ්‍යතාවක් සහ ප්‍රතිඵල මතයි. ආයතනික ක්‍රියාවලියක් පවත්වාගෙන යාම සඳහා පමණක් ඒවා දිගුකාලීනව පවත්වාගෙන යාම නොකළ යුතුයි.
එබැවින් රටවල් සම්බන්ධ වාර්තාකරණය සඳහා අවධානය යොමු කළ, වෛෂයික සහ විධානය මත පදනම් වූ ප්‍රවේශයක් අනුගමනය කරන ලෙස ශ්‍රී ලංකාව ඉල්ලා සිටිනවා.”


