ලිංගික අතවර චෝදනාවලින් රසල් බ්‍රෑන්ඩ් කොටුවෙයි: සිරදඬුවම සඳුදා

සුප්‍රකට බ්‍රිතාන්‍ය විකට නළු සහ හොලිවුඩ් රංගන ශිල්පී රසල් බ්‍රෑන්ඩ් (Russell Brand), එක් ස්ත්‍රී දූෂණ චෝදනාවකට සහ ලිංගික අතවර කිරීමේ චෝදනා තුනකට වරදකරු බව ලන්ඩනයේ සදර්ක් ක්‍රවුන් අධිකරණය (Southwark Crown Court) තීන්දු කර තිබේ.
තමන්ට එරෙහිව එල්ල වූ සියලු චෝදනා තරයේ ප්‍රතික්ෂේප කළ 51 හැවිරිදි රසල් බ්‍රෑන්ඩ් හට එරෙහිව 1999 සහ 2009 අතර කාලසීමාව තුළ කාන්තාවන් පිරිසකට සිදුකළ බව කියන චෝදනා හතෙන් හතරකට (04) ඔහු මෙලෙස වරදකරු වී ඇත. සෙසු ස්ත්‍රී දූෂණ චෝදනා දෙකෙන් සහ අශෝභන ලෙස පහරදීමට තැත්කිරීමේ චෝදනාවෙන් ඔහු නිදොස් කොට නිදහස් විය.
නඩු තීන්දුව ප්‍රකාශයට පත්කරමින් විනිසුරු බෙනතාන් (Mr Justice Bennathan) අනතුරු ඇඟවූයේ, වරදකරු වූ චෝදනාවල ස්වභාවය අනුව රසල් බ්‍රෑන්ඩ් හට සැලකිය යුතු දීර්ඝ කාලයක සිරදඬුවමකට මුහුණ දීමට සිදුවන බවයි. ඒ අනුව ඔහුව වහාම රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරුණු අතර, ඔහුට නියම වන සිරදඬුවම ලබන සඳුදා ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.
කාන්තාවන් 6 දෙනෙකු කළ හෙළිදරව්ව
පසුගිය ඔක්තෝබර් 12 වැනිදා ආරම්භ වූ මෙම නඩු විභාගයේදී කාන්තාවන් හයදෙනෙකු විසින් ඔහුට එරෙහිව සාක්ෂි ලබාදුන් අතර, බ්‍රිතාන්‍ය නීතියට අනුව ඔවුන්ගේ අනන්‍යතාව ජීවිත කාලයටම රහසිගතව තබාගැනීමට නියමිතය. නඩු විභාගය අතරතුර පැමිණිල්ල විසින් රසල් බ්‍රෑන්ඩ් ලිංගික විලෝපිකයෙකු (Sexual predator) ලෙස හඳුන්වනු ලැබීය.
සාක්ෂි කූඩුවට නගිමින් කරුණු දැක්වූ රසල් බ්‍රෑන්ඩ්, මෙම චෝදනා තම ජීවිතයට දැඩි කම්පනයක් සහ විනාශයක් ගෙනදුන් බව පැවසීය. තමන් කිසිදු දිනක කාන්තාවකගේ අනුමැතියකින් තොරව ලිංගික ක්‍රියාවන්හි නොයෙදුණු බවත්, ලිංගික කැමැත්ත මූලිකම මිනිස් අයිතියක් ලෙස තමන් සලකන බවත් ඔහු අවධාරණය කළේය.
විකට නළුවෙකු, රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු සහ හොලිවුඩ් සිනමා තරුවක් ලෙස ඉමහත් කීර්තියක් අත්කරගත් රසල් බ්‍රෑන්ඩ්, පසුකාලීනව අන්තර්ජාලය ඔස්සේ සමාජ හා දේශපාලන විචාරකයෙකු ලෙසද ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත්විය.




