රුපියල් මිලියන 28ක වියදමින් ඉදිකළ නව මුලතිව් තැපැල් කාර්යාලය ජනතා සේවයට

අලුතින් ඉදිකරන ලද සම්පූර්ණ පහසුකම් සහිත මුලතිව් තැපැල් කාර්යාලය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන්   ජනතා සේවයට විවෘත කෙරිණි.

රුපියල් මිලියන 28ක වියදමින් ඉදිකර ඇති මෙම නවීන තැපැල් කාර්යාලය මගින් මුලතිව් දිස්ත්‍රික්කයේ පවුල් 12,231කට මෙන්ම රාජ්‍ය හා පෞද්ගලික ආයතන රැසකට වඩාත් කාර්යක්ෂම තැපැල් සේවාවක් ලබාදීමට සැලසුම් කර තිබේ.

පළමු ශ්‍රේණියේ තැපැල් කාර්යාලයක් ලෙස ක්‍රියාත්මක වන මෙය පවුල් 5,830කට සෘජුව සේවා සපයන අතර, එහි පරිපාලනය යටතේ පවතින උප තැපැල් කාර්යාල හයක් හරහා තවත් පවුල් 4,883කට සේවා සැපයීමට නියමිතය.

මීට අමතරව රාජ්‍ය ආයතන 68ක්, හෝටල් 9ක් සහ කර්මාන්තශාලා 4ක්ද මෙම තැපැල් කාර්යාලයේ සේවාවන්ගෙන් ප්‍රතිලාභ ලබනු ඇත.

මෙහි ඉදිකිරීම් කටයුතු පසුගිය ඔක්තෝබර් මාසයේදී ආරම්භ කර ඇති අතර, ගොඩනැගිලි දෙපාර්තමේන්තුව විසින් එම කටයුතු සිදුකර තිබේ.

2025 අයවැය මගින් නව තැපැල් කාර්යාල ගොඩනැගිලි ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 600ක මුදලක් වෙන්කර තිබූ අතර, එය වසර 10කට පසුව නව තැපැල් කාර්යාල ගොඩනැගිලි සඳහා වෙන්කළ පළමු අයවැය ප්‍රතිපාදනය ලෙස සැලකේ. ඒ යටතේ විවෘත කළ 12 වැනි නව තැපැල් කාර්යාලය මෙයයි.

උත්සවය අමතමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ අමාත්‍ය ධුරය භාරගැනීමෙන් පසු තමන් මුලතිව් ප්‍රදේශයට පැමිණි පළමු අවස්ථාව මෙය බවයි.

රාජ්‍ය ආර්ථිකය ශක්තිමත් කිරීම, රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සහ රජයට ලැබෙන ආදායම නැවත ජනතාවගේ ජීවන තත්ත්වය නංවාලීම සඳහා ආයෝජනය කිරීම රජයේ අරමුණ බවද ඔහු අවධාරණය කළේය.

මුලතිව් සහ ඒ අවට දිස්ත්‍රික්කවල මෑතකදී රුපියල් මිලියන 2,500කට වැඩි වටිනාකමකින් යුත් සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

අතීතයේ පැවති පද්ධතිමය අකාර්යක්ෂමතා සහ දූෂණය රටේ ආර්ථික අර්බුදයට හේතු වූ කරුණු අතර පැවති බව පෙන්වා දුන් අමාත්‍යවරයා, ජනතාවට සෘජුව ප්‍රතිලාභ ලැබෙන සංවර්ධන ප්‍රතිඵල ලබාදීම කෙරෙහි වත්මන් රජය අවධානය යොමුකර ඇති බව පැවසීය.

සෞඛ්‍ය, අධ්‍යාපන, මහාමාර්ග සහ නිවාස යන ක්ෂේත්‍ර භාර අමාත්‍යාංශ අතර සම්බන්ධීකරණයෙන් දිස්ත්‍රික් මට්ටමේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරමින් සිටින බවද ඔහු සඳහන් කළේය.

එමෙන්ම ජාතිකවාදය හෝ අන්තවාදය ප්‍රචාරය කිරීමට දරන උත්සාහයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවටද අමාත්‍යවරයා අනතුරු ඇඟවීය.

තැපැල් සේවාව නවීකරණය කිරීම සඳහා 2026 වසරේදී නව ගොඩනැගිලි ඉදිකිරීමට රුපියල් මිලියන 400ක් සහ පවතින ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය සඳහා රුපියල් මිලියන 600ක් වෙන්කර තිබේ.

මීට අමතරව ප්‍රවාහන වාහන, CCTV පද්ධති, ඩෙස්ක්ටොප් පරිගණක සහ ටැබ්ලට් උපාංග සඳහාද ඉදිරියේදී ආයෝජන සිදුකිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *