පසුගිය යහපාලන රජය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුව ගෙන සිරගත කළ බුද්ධි අංශ රණවිරුවන්ට එරෙහිව පවරා ඇති සියලූ නඩු ඉවත් කර ඔවුන් අදාළ චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසම මගින් නිර්දේශ කර ඇති බවට වාර්තා වේ.
ඒ අනුව අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ, මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර, රියර් අද්මිරාල් ඩී. කේ. පී. දසනායක, කර්නල්වරුන් වන ශම්මි කුමාරරත්න, ප‍්‍රබෝදය සිරිවර්ධන, එරන්ත පීරිස්, සීවලී බුලත්වත්ත, කපිතාන් සුමිත් රණසිංහ, කමාණ්ඩර්වරුන් වන අනිල් මාපා, දයානන්ද, ප‍්‍රසාද් හෙට්ටිආරච්චි ඇතුළු රණවිරුවන් 25 දෙනකුට පමණ එරෙහිව පවරා ඇති නඩු මෙසේ ඉවත් කරන ලෙසට නිර්දේශ කර ඇත. ජනාධිපති කොමිසම මගින් මෙම නිර්දේශ ඉදිරිපත් කර ඇත්තේ ඔවුන් කරන ලද පැමිණිලි අනුව සිදු කරන ලද දීර්ඝ සාක්‍ෂි විමසීමකින් අනතුරුවයි.