මැතිවරණ කොමිසමේ සාමාජිකයින්ට මරණ තර්ජන…

 

මැතිවරණ කොමිසමේ සාමාජිකයින්ට මරණීය තර්ජන එල්ල කර ඇත්තේ විදේශ රටකින් පැමිණි දුරකථන ඇමතුම් ඔස්සේ බව පරීක්ෂණවලදී අනාවරණ වී ඇති බවයි පොලිසිය පවසන්නේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව සඳහන් කළේ අදාළ දුරකථන ඇමතුම් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.

මේ වන විට මැතිවරණ කොමිසමේ සාමාජිකයින් තිදෙනෙකුට දුරකථන ඇමතුම් මගින් මරණ තර්ජන එල්ල වී ඇති අතර, ඔවුන් පොලිසියට පැමිණිලි කර ඇත.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව වැඩිදුරටත් පැවසුවේ ලැබී ඇති පැමිණිලිවලට අනුව මූලික විමර්ශන ආරම්භ කර ඇති බවයි.

මැතිවරණ කොමිසමේ සාමාජික එම්. එම්. මොහොමඩ් මහතාට පසුගිය ජනවාරි 27 වැනිදා දුරකථනයෙන් මරණීය තර්ජන එල්ල වූයේ මැතිවරණ කොමිසමෙන් ඉල්ලා අස්වන ලෙස බලකරමිනි.

මේ අතර, මේ මස මුලදී එවැනි තර්ජන එල්ල වූ කොමිසමේ සාමාජික එස්.බී.දිවාරත්නට පෙර කී දිනයේ යළිත් තර්ජන එල්ල වූ බව වාර්තා වේ.

ජනවාරි 18 වැනිදා මැතිවරණ කොමිසමේ සාමාජිකයන් දෙදෙනකු වන එස්.බී.දිවාරත්න සහ කේ.පී.පී.පතිරණ යන අයට තම තනතුරුවලින් ඉල්ලා අස්වන ලෙස බලකරමින් මරණීය තර්ජන එල්ල වූ අතර, ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් (සීඅයිඩී) ආරම්භ කළේය.

කොමිසමේ සභාපතිවරයාට දැනුම් දීමෙන් පසු ඔවුන්ට අවශ්‍ය පොලිස් ආරක්ෂාව ද ලබාදුන් අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔවුන්ගේ නිවෙස් ද පරීක්ෂා කර අදාළ පුද්ගලයන්ගෙන් ප්‍රකාශ ලබා ගත්තා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *