විදෙස්ගතව සිටින හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් ඉන්ටර්පෝල් හරහා ‘Blue Notice’ හෙවත් නිල් නිවේදනයක් නිකුත් කරන ලෙස ශ්‍රී ලංකාවෙන් ඉල්ලීමක් කර ඇති බව පොලිස් ආරංචි මාර්ග උපුටා දක්වමින් වාර්තා වේ.
පොලිස් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කර ඇත්තේ මෙම ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් ඉන්ටර්පෝල් ආයතනය ශ්‍රී ලංකාවෙන් තවත් තොරතුරු ඉල්ලා ඇති බවයි. ඒ අනුව අවශ්‍ය ලේඛන සකස් කර ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා බලධාරීන් කටයුතු කරමින් සිටින බවද එම නිලධාරියා පවසා තිබේ.
බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව මේ වන විට අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු දෙකක් නිකුත් කර තිබේ.
ඉන් එක් වරෙන්තුවක් මතුගම නොව මාතර බ්‍රවුන්ස් හිල් ප්‍රදේශයේ අක්කර 1.5ක ඉඩමක් නීතිවිරෝධී ලෙස උපයාගත් බවට චෝදනා කෙරෙන මුදල් යොදා ගනිමින් මිලදී ගැනීම සම්බන්ධයෙන් පවතින නඩුවකට අදාළ වේ. එම නඩුව සම්බන්ධයෙන් මාතර මහේස්ත්‍රාත් අධිකරණය මීට පෙරද බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව වරෙන්තු නිකුත් කර තිබූ අතර, ඔහු අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ජූලි මාසයේදී එම වරෙන්තුව යළි නිකුත් කර තිබිණි.
අනෙක් වරෙන්තුව සම්බන්ධ වන්නේ ඌව පළාත් සභා මැතිවරණ සමයේදී ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයට අයත් රුපියල් මිලියන 7.8ක මුදලක් භාවිත කර ටී-ෂර්ට් 12,000ක් බෙදාහැරීම සම්බන්ධයෙන් පවතින විමර්ශනයකටය. එම මුදල් සංචාරක ප්‍රවර්ධන කටයුතු සඳහා වෙන් කර තිබියදී වෙනත් කටයුත්තකට යොදාගත් බවට විමර්ශනවලදී චෝදනා එල්ල වී තිබේ.
ඉන්ටර්පෝල් ‘Blue Notice’ යනු පුද්ගලයෙකුගේ අනන්‍යතාව, සිටින ස්ථානය හෝ අපරාධ විමර්ශනයකට අදාළ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් අමතර තොරතුරු ලබාගැනීම සඳහා භාවිත කරන ජාත්‍යන්තර පොලිස් නිවේදනයකි. එය අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නොවන බවද සඳහන් වේ.


