Friday, 6 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

බැංකු, වාහන සහ ඉඩම්වලට TIN අනිවාර්ය කිරීම 2027ට කල්දමයි

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

ප්‍රධාන ගනුදෙනු අටක් (08) සඳහා බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංක (TIN) සහතිකය ඉදිරිපත් කිරීම අනිවාර්ය කරමින් පනවා තිබූ නීතිමය රෙගුලාසිය ක්‍රියාත්මක කිරීම එළඹෙන 2027 අප්‍රේල් මස 01 වැනිදා දක්වා කල්දැමීමට පියවර ගත් බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව (IRD) නිවේදනය කරයි.

දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා මෙම තීරණය තහවුරු කර ඇති අතර, ඒ අනුව පසුගිය නොවැම්බර් 01 වැනිදා සිට බලාත්මක කෙරුණු අදාළ නීතිය සඳහා ජනතාව වෙත මාස පහක (05) සහන කාලයක් හිමිවේ.

TIN සහතික ලබාගැනීමේදී දිවයින පුරා පිහිටි දේශීය ආදායම් කාර්යාල ඉදිරිපිට දැඩි තදබදයක් හා දිගු පෝලිම් හටගැනීම මෙන්ම දෙපාර්තමේන්තුවේ මාර්ගගත (Online) පද්ධතියේ හටගත් බිඳවැටීම් හමුවේ මහජනතාව මුහුණ දුන් දැඩි අපහසුතා සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන තිබේ.

කල්දැමීමට යටත් වූ ප්‍රධාන ගනුදෙනු 8:

  1. බැංකු ගිණුම් විවෘත කිරීම

  2. ගොඩනැගිලි සැලසුම් අනුමත කරගැනීම

  3. මෝටර් රථ වාහන ලියාපදිංචි කිරීම

  4. වාහන ආදායම් බලපත්‍ර අලුත් කිරීම

  5. ඉඩම් ලියාපදිංචි කිරීම

  6. ව්‍යාපාර ලියාපදිංචි කිරීම

  7. සමාගම් කොටස් පැවරීම

  8. ණයපත් (Credit Cards) ලබාගැනීම

මීට පෙර බැංකු ගිණුම් විවෘත කිරීම සහ වාහන ආදායම් බලපත්‍ර අලුත් කිරීම සඳහා පමණක් රජය විසින් තාවකාලික සහන කාලයක් ප්‍රකාශයට පත්කර තිබූ අතර, නව තීරණයත් සමඟ ඉහත සඳහන් සියලුම ගනුදෙනු අට සඳහාම ලබන වසරේ අප්‍රේල් 01 වැනිදා තෙක් TIN සහතිකය ඉදිරිපත් කිරීමකින් තොරව කටයුතු කරගැනීමට මහජනතාවට අවස්ථාව හිමිවේ.

 

ඔබේ අදහස