අක්රමවත් ලෙස බස් මාර්ග බලපත්ර නිකුත් කළ බවට එල්ල වූ චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ (NTC) හිටපු සභාපති රේණුක පෙරේරා මහතාට අධිකරණය විසින් ඇප ලබාදී තිබේ.
අද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් මිලියන 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහු මුදාහැරීමට නියෝග කර ඇත.
බස් රථ සඳහා මාර්ග බලපත්ර නීතිවිරෝධී ලෙස නිකුත් කළ බවට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සැප්තැම්බර් 17 වැනිදා රේණුක පෙරේරා මහතා අත්අඩංගුවට ගෙන තිබිණි.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ මගී ප්රවාහන සේවා සඳහා බලපත්ර 56ක් නීතියෙන් නියම කර ඇති ක්රියාපටිපාටියෙන් බැහැරව නිකුත් කිරීම සහ වාර්ෂික ගාස්තු එක්වර අයකර නොගැනීම සම්බන්ධයෙන් හිටපු NTC සභාපතිවරයාට චෝදනා එල්ල වී තිබේ.
එම ක්රියාමාර්ග 1991 අංක 37 දරන ජාතික ගමනාගමන කොමිෂන් සභා පනතේ විධිවිධානවලට සහ 2014 සැප්තැම්බර් 19 වැනිදා පැවති කැබිනට් තීරණයක නිර්දේශවලට පටහැනිව සිදුකර ඇති බවට චෝදනා එල්ල වී ඇත.
අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව රේණුක පෙරේරා මහතා සැප්තැම්බර් 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්රාත් අධිකරණය නියෝග කර තිබිණි.


