බස්නාහිර පළාතේ පිරිස් අවුරුද්දට ගමේ ගියොත් ගම්බිම් දැඩි අවදානමේ, ඇදිරිනීතියත් දිගුවේ

කොරෝනා අවදානම් කළාපයක් ලෙසට ප්‍රකාශයට පත්කර ඇති බස්නාහිර පළාතේ තාවකාලිකව නවාතැන් ගෙන සිටින පිරිස් හට සිංහල අලුත් අවුරුද්දට තම ගම්බිම් බලා යාමට අවස්ථාව ලබාදුනහොත් ලබන 20 වැනිදායින් පසුවත් පවතින ඇඳිරිනීතිය ලිහිල් කිරීමේ අවස්ථාවද අහිමි වන බව අත්‍යවශ්‍ය සේවා පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බළකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

කොළඹ, ගම්පහ, කළුතර දිස්‍ත්‍රික්කවල තාවකාලිකව පදිංචි පිරිසෙන් ලක්ෂ 5 කට ආසන්න පිරිසක් සිය ගම්බිම් බලා යාමට රජයෙන් ප්‍රවාහන පහසුකම් ඉල්ලා ඇති අතර වත්මන් තත්වය අනුව බස් රථයක ගමන් කළ හැකි මගීන් ප්‍රමාණය සීමා කර ඇති බැවින් එක් බස්රථයක් වෙනුවට බස් රථ තුනක් පමණ යෙදවිය යුතුව තිබේ. මෙසේ ගම්බිම් බලා පිටත්ව යන පිරිස් අතර එක් කොරෝනා ආසාදිතයකු සිටියහොත් ඉන් සිය පවුලේ සාමාජිකයන්ට එතැනින් සිය ඥාතීන්ටත් වැලඳී පසුව ගම්බිම් පුරා එය පැතිරීමේ අවදානමක් පවතින බවත් සෞඛ්‍ය අංශ පෙන්වා දී ඇතැයි බැසිල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

එබැවින් දැනට පවතින සෞඛ්‍ය ආරක්ෂක වැඩපිළිවෙළ දිගටම පවත්වාගෙන යාමේන් ලබන 20 වැනිදායින් පසුව කොටස් වශයෙන් හෝ ඇඳිරි නීතිය ලිහිල් කිරීම පිළිඹද අවධානය යොමුව ඇති බවද ඔහු සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *