පාසල් දරුවන් ප්රවාහනය කරන වෑන් රථයක දොර හදිසියේ විවෘත වීමෙන් එහි සිටි පෙර පාසල් දරුවකු මාර්ගයට වැටී මියයාමේ සිද්ධියක් ඊයේ (25) වැල්ලවායෙන් වාර්තා විය.
දරුවා පෙර පාසල නිමවී නිවසට යෑමට මෙම පාසල් වෑන් රථයේ ගමන් කර ඇති අතර, ඇල්ල – කරඳගොල්ල හුණුකැටිය හන්දිය පසුකරනවාත් සමගම වෑන් රථයේ දොර එකවරම විවෘතවී දරුවා බිමට වැටී ඇත. සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ දරුවා වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බව මූලික පරීක්ෂණවලදී අනාවරණයවී තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ වැල්ලවාය ශාන්ත මේරි දේවස්ථානයේ පවත්වාගෙන යන පෙර පාසලේ ඉගෙනුම ලබන වැල්ලවාය කරඳගොල්ල පරගහඅරාව පදිංචි වනිගසූරිය මුදියාන්සේලාගේ අනුහස් නැමැති පස් හැවිරිදි දරුවාය.
වෑන් රථය සමඟ එහි රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, වැල්ලවාය පොලිසිය මඟින් සිද්ධිය පිළිඹද වැඩිදුර පරීක්ෂණ පවත්වයි.