රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කොළඹ දිස්ත්‍රික් ශාඛාවේ සභාපති වෛද්‍ය සමන්තිකා විජේසුන්දර මහත්මිය පැවසුවේ,පිළියන්දල ප්‍රදේශයෙන් තවදුරටත් කොවිඩ් 19 රෝගීන් වාර්තාවීම ඉහළ යමින් පවතින බවයි.
ඇය පෙන්වා දෙන්නේ ජනතාවගේ සංචරණය සීමා නොකළහොත් මෙම තත්ත්වය ඉදිරියේ දී තවදුරටත් බරපතළ විය හැකි බවය.
“විශාල ප්‍රදේශයක් හුදකලා කළොත් පමණයි අපිට අවශ්‍ය පරිදි කලමණාකරණය කරගන්න පුළුවන් වෙන්නේ. පේන්න ඉන්න රෝගීන් ප්‍රමාණයට වඩා නොපෙනෙන රෝගීන් ප්‍රමාණය දෙතුන් ගුණයක් වැඩිවිය හැකියි.” යනුවෙන් ද ඇය පැවසුවාය.
මේ අතර පිළියන්දල පොලිස් බලප්‍රදේශයට පනවා තිබූ සංචරණ සීමා ඉවත් කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා අද අදහස් පළ කළේය.
එහිදී “අපිට ඊයේ දිනයේදීත් වැඩිපුරම රෝගීන් වාර්තා වුණෙත් කැස්බෑව පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස වලින්. මීට ප්‍රථම අපි අදාළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට නිරෝධායන ඇඳිරිනීතිය පනවලා නැවත ඉවත් කරනු ලැබුවා. මේ සම්බන්ධ මා පත් කළ විශේෂඥ කමිටු වාර්තාව අනුව පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ දැනට හුදකලා කරලා තියෙන ග්‍රාම නිලධාරී වසම් ටික තමයි ඔවුන් නිර්දේශ කෙරුවේ, හුදකලා කිරීම සඳහා. තවත් ග්‍රාම නිලධාරී වසම් හුදකලා කිරීමට අවශ්‍ය වුණොත් අපි ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නවා,” යනුවෙන් පැවසීය.
මේ අතර ලංකා ගමනාගමන මණ්ඩලයේ රියදුරන් සහ කොන්දොස්තරවරුන් 70 දෙනෙකුට පමණ මේ වනවිට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ අදාළ රෝගීන් ලංකා ගමනාගමන මණ්ඩලයේ විශේෂ ඒකකයක් තුළ ප්‍රතිකාර කිරීමට පියවර ගෙන ඇති බවය.
කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා මේ බව සඳහන් කළේය.