ප්‍රමාණවත් ආහාර තිබෙන බව රජය පවසයි

රට තුළ සහල් සහ සීනි ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයක් පවතින බවට පැතිර යන වාර්තාවල කිසිදු සත්‍යතාවක් නොමැති බව රජය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ ජනතා ඉල්ලුම සපුරාලීමට ප්‍රමාණවත් ආහාර ද්‍රව්‍ය තොග රජය සතුව පවතින බවය.

ඇතැම් දේශීය හා විදේශීය මාධ්‍ය සහ සමාජ මාධ්‍ය මෙරට තුළ බරපතළ ආහාර හිඟයක් හටගෙන ඇතැයි ප්‍රචාරය කරමින් සිටින අතර එම වාර්තාවල කිසිදු පදනමක් නොමැති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

ඇතැම් විපක්ෂ දේශපාලඥයින්ද එම අසත්‍ය වාර්තා නැවත ප්‍රචාරය කරමින් සිටින බව එම නිවේදනයේ සඳහන් වේ.

ඇතැම් කූඨ වෙළෙඳුන් පසුව වැඩි මිලට විකුණා අධික ලාභ උපයා ගැනීමේ අරමුණ ඇතිව වී, සහල්, සීනි ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග වශයෙන් සඟවා තැබීමෙහි නිරත වන බවට තොරතුරු ලැබී ඇති බව වාර්තා වේ.

ඔවුන්ගේ එම උත්සහාය පරාජය කිරීම සඳහා මහජන ආරක්ෂක පනතේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සම්පාදනයට අදාළ වගන්ති පසුගිය සඳුදා බලාත්මක කරනු ලැබුණි.

එමෙන්ම සැඟවූ ආහාර ද්‍රව්‍ය තොග සොයා, ඒවා සාධාරණ මිලට බෙදාහැරීම එහි අරමුණ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

එමගින් කෘතිම ලෙස ආහාර හිඟයක් ඇති කිරීමට ගත් උත්සහාය ව්‍යාර්ත කිරීමට හැකිවූ බවත් ආහාර හිඟයක් ඇති වේයැයි බිය නොවන ලෙසත් රජය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

මේ අතර ගබඩා තුළ සඟවා තිබූ සීනි මෙට්‍රික් ටොන් 29,900 ක් ප්‍රමාණයක් ඊයේ වන විට රජයට පවරා ගත් බව අතවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් මේජර් ජනරාල් එන්. ඩී. එස්. පී නිවුන්හැල්ල මහතා පවසයි.

එම සීනි තොග පාලන මිලක් යටතේ රාජ්‍ය සහ පෞද්ගලික වෙළෙඳ ආයතන මගින් පාර්භෝගික ජනතාව වෙත අලෙවිකිරීමට සැලසුම් කර ඇති බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.

මේ අතර සහල් සහ සීනී සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් ගැසට් පත්‍රය අද නිකුත් කිරීමට නියමිතව තිබේ.

රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සඳහන් කළේ හෙට දිනයේ සිට අදාළ මිල ගණන් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවය.

මේ අතර තිරිඟු පිටි සහ සිමෙන්ති මිල ඉහළ දැමීමට මෙතෙක් කිසිදු අවසරයක් ලබා දී නොමැති බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *