නිව් ඩයමන්ඩ් ඉන්ධන ප්‍රවාහන නෞකාවේ ගින්න නිවීමේ කටයුතු තවදුරටත්

අම්පාර සංගමන්කන්ද තුඩුවේ සිට නාවික සැතපුම් 38ක් දුර මුහුදේ යාත්‍රා කරමින් තිබූ “නිව් ඩයමන්ඩ්“ (MT New Diamond) නැමති ඉන්ධන ප්‍රවාහන නෞකාවේ ප්‍රධාන යන්ත්‍ර කාමරයේ ‍බොයිලේරුවක ඊයේ (03) සිදුවූ පිපිරුමක් සමඟ ඇති වූ ගින්න මැඩපැවැත්වීම සඳහා මේ වන විට කටයුතු කරමින් සිටින බව නාවික හමුදාව පවසා සිටියි.

ඒ සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ඉන්දියානු නාවික හමුදාව සහ ඉන්දීය වෙරළ ආරක්‍ෂක බලකාය ඒකාබද්ධව මෙහෙයුමක් දියත් කර තිබේ.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් “Mi 17“ වර්ගයේ හෙළිකොප්ටර් යානයක් මෙම ගින්න පාලනය කිරීම සඳහා ගුවනින් ජලය දැමීමේ ගුවන් මෙහෙයුම් වාර කිහිපයක් පෙර දින හිරු බැස යාම තෙක් සිදු කළ අතර, “බීච් ක්‍රාෆ්ට්“ යානාවක් මගින් වරින් වර ගුවනින් අවශ්‍ය නිරීක්‍ෂණ කටයුතු සිදු කරනු ලබයි. එමෙන්ම ඉන්දියානු වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත් ඩ්‍රෝනියර් යානයක් ද මෙම ආපදා තත්ත්වය ගුවනින් නිරීක්‍ෂණය කරනු ලැබීය.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ “සයුර“, “සිඳුරළ“ සහ “රණරිසි“ නෞකා සමගින් වේග ප්‍රහාරක යාත්‍රා දෙකක් මෙම ආපදා තත්ත්වය කළමණාකරණය කිරීමේ මෙහෙයුමට යොදවා ඇති බව නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කරයි.

ඊයේ සවස් කාලයේදී ආපදාව සිදුවූ නෞකාව අසළට ළඟාවූ ඉන්දීය වෙරළාරක්‍ෂක “සෞර්යා“ (ICGS Shaurya) නෞකාව ශ්‍රී ලංකා නාවික නෞකා සිඳුරළ සමඟ එක්ව ආපදාවට ලක්වූ නෞකාවේ දෙපස සිට සිසිලන ආවරණය ලබාදීමේ කටයුතුද ආරම්භ කරන තිබේ.

23 දෙනෙකු වූ මෙම නෞකාවේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් අතරින් 22 ක් මුදවා ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සමත්වී ඇති අතර, එම කාර්මණ්ඩලයේ සිටි පිලිපීන් ජාතික නාවිකයෙකු බොයිලෙරු පිපිරීමෙන් මරණයට පත්ව ඇති බව නෞකා කාර්ය මණ්ඩලයේ මූලික තොරතුරු අනුව තහවුරු වී ඇත.

තවද, මෙම නෞකාවේ ඇති වූ ගින්නෙන් එහි ගබඩා කර ඇති මෙට්‍රික්ටෝන් 2,70,000ක් වූ බොරතෙල් සංචිතයට මේ වන තෙක් කිසිදු බලපෑමක් සිදු වී නොමැති අතර ගින්න එම බොරතෙල් සංචිත ගබඩාවන් වෙත පැතිරයාම වැළැක්වීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බවටත් වාර්තා වේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *