නැකැත් චාරිත්‍ර ගෙදරට සීමා කරන්න, මෙවර අවුදුරු නැකැත් මෙන්න

අවුරුදු නැකැත් චාරිත්‍ර වාරිත්‍ර තම නිවසේ අය සමඟ පමණක් සිදු කරන ලෙසත් පවත්නා තත්ත්වය තුළ නිවසින් බැහැරට යෑම හෝ විවිධ උත්සවාදිය සංවිධානය නොකළ යුතු බවත් බුද්ධශාසන සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් එම්.කේ. බන්දුල හරිස්චන්ද්‍ර මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි. එමෙන්ම කොරෝනා වෛරසය ව්‍යාප්ත නොවන පරිදි ක්‍රියා කිරීම ශ්‍රී ලංකාවාසී සියල්ලන්ගේම යුතුකම හා වගකීම වන බවත් මෙම අවදානම් තත්ත්වය පාලනය කිරීමට පුරවැසියන් ලෙස සියලු දෙනාගේම සහාය අතිශය වැදගත් බවත් එම නිවේදනයෙහි වැඩිදුරටත් සඳහන් වේ.

මේ අතර බුද්ධ ශාසන සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අනුග්‍රහය ඇතිව සිංහල අලුත් අවුරුදු රාජ්‍ය නැකත් කමිටුව විසින් ශ්‍රී ලංකාවේ සියලු ප්‍රදේශවලට නොවෙනස්ව භාවිත කළ හැකි ලෙස සකසා නිකුත් කරන ලද 2020 සිංහල අලුත් අවුරුදු නැකත් චාරිත්‍ර පහත පරිදි වේ.

නව සඳ බැලීම

මාර්තු මස 26 වැනි බ්‍රහස්පතින්දා දි නද අභිනව සූර්ය වංශය සඳහා අප්‍රේල් මස 26 වැනි ඉරිදා දින ද නව සඳ බැලීම මැනවි.

පරණ අවුරුද්ද සඳහා ස්නානය

අප්‍රේල් මස 11 වැනි සෙනසුරාදා දින නුගපත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයෙහි යෙදී වාසය මැනවි.

අලුත් අවුරුදු උදාව

අප්‍රෙල් මස 13 වැනි සඳුදා අපරභාග 08.23ට සිංහල අලුත් අවුරුද්ද උදා වෙයි.

පුණ්‍ය කාලය

අප්‍රේල් මස 13 වැනි සඳුදා අපරභාග 1.00 පසුවී විනාඩි 59 සිට එදින රාත්‍රී 2.00 පසු වී විනාඩි 47 දක්වා (14 වැනි අඟහරුවාදාට එළිවෙන පාන්දර) පුණ්‍ය කාලය බැවින් අප්‍රේල් මස 13 වැනි සඳුදා අපරභාග 1.59ට පළමුව ආහාරපාන ගෙන සියලු වැඩ අතහැර ආගමික වතාවත් හි යෙදීම ද පුණ්‍ය කාලයේ අපර කොටස තුළ එනම් අප්‍රේල් මස 13 වැනි සඳුදා අපරභාග (රාත්‍රී) 8.00 පසුවී විනාඩි 23 සිට එමදා රාත්‍රී 2.00 පසුවී විනාඩි 47 දක්වා පහත දැක්වෙන අයුරින් ආහාර පිසීම, වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය ආදී නැකැත් චාරිත්‍ර විධි ඉටු කිරීම මැනවි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *