දූෂණ ක්‍රියාවලට සම්බන්ධ බන්ධනාගාර නිලධාරීන් 15ක ගේ වැඩ තහනම්

මහර, මැගසින්, බූස්ස, කොළඹ, වැලිකඩ, ගාල්ල, මීගමුව, වාරියපොළ හා අගුණකොළපැලැස්ස යන බන්ධනාගාරවලට අනුයුක්තව සේවය කරමින් සිටියදී විවිධ දූෂණ ක්‍රියාවලට සම්බන්ධ වූ බන්ධනාගාර නිලධාරීන් 15 දෙනෙකුගේ වැඩ තහනම් කර ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පවසයි. ඒ කොළඹදී අද පැවැති මාධ්‍ය හමුවක් අමතමින්.

ඒ මහතා පවසා සිටින්නේ අදාළ නිලධාරීන් 15 දෙනා අතර සහකාර අධිකාරිවරයෙක්, ප්‍රධාන ජේලර්වරු දෙදෙනෙක්, ජේලර්වරයෙක් ද වන බවත්, ඒ ඒ ආයතනවල අධිකාරිවරු, බන්ධනාගාර බුද්ධි අංශ මෙන්ම පොලිස් දෙපාර්තමේන්තුව විසින් අනාවරණය කරගනු ලැබූ යම් යම් කරුණු මත පදනම්ව සිදුකළ මූලික විමර්ශනවලට අනුව මෙම නිලධාරීන්ගේ වැඩ තහනම් කිරීමට පියවර ගත් බවයි.

එමෙන්ම මීගමුව හා බූස්ස බන්ධනාගාරවල සිටින, සිරකරුවන් සමග යම් යම් සබඳතා පවත්වන බවට තොරතුරු තහවුරු වී ඇති නිලධාරීන් ද මේ වන විට ස්ථාන මාරු කිරීම්වලට යොමු කර ඇති බවත්, ඒ අනුව මීගමුව බන්ධනාගාරයේ නිලධාරීන් 9 දෙනෙකු හා බූස්ස බන්ධනාගාරයේ නිලධාරීන් 10 දෙනෙකු මේ වන විට ස්ථාන මාරු කිරීම්වලට යොමුකර ඇති බව ඔහු සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *